නිවස සෞන්දර්ය සෞන්දර්ය අපේ ජන සංගිතය

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
අපේ ජන සංගිතය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

අපේ ජන සංගිතය

නැළවිලි ගී පැරණි ජනකවි අතර දරු නැළවිලි ගීවලට සුවිශේෂ ස්ථානයක් හිමිවේ. ළදරු මනසට ගෝචර වන පරිදි නිර්මාණයවූ ශාන්ත රසය, කරුණා රසය හා වීර රස ඉන් මතු කරවන සුළුය.ඇතැම් විට මෙම ගීත සඳහා ආගමික පසුබිමක්ද සකස්වී තිබුණි.මේ දරු නැළවිලි ගී බොහොමයක්ම මාත‍්‍රා හයෙන් හයට යතිය ඇතිව මාත‍්‍රා දොළොසකින් හෙබි එළිසම සහිත හෝ රහිත ඉතාම සරලවූ ඉතා මිහිරි කාව්‍යයන්ය.ඇතැම් විට මෙම ගීත සඳහා ආගමික පසුබිමක්ද සකස්වී තිබුණි. බුදුසරණ, දම් සරණ, සඟ සරණ හා තුන් සරණ පමණක් නොව “දෙවි පිහිටයි නුඹට පුතේ” යනුවෙන්ද නැළවිලි ගායනය කෙරේ.

රබාන හා බැඳි විරිදු ගීලංකාවේ දකුණු දිග ප‍්‍රදේශයෙන් අත් රබන් වාදනය ප‍්‍රභවය ලැබුවා යැයි කිව හැකිය. නාකුළුගමුව විශේෂයෙන්ම රබන් ගී පිළිබඳව ප‍්‍රසිද්ධියක් උසුලයි. රබන් වාදනයේදි ගායනා කරනු ලබන ගී “විරිදු” නමින් හඳුන්වයි. විරිදු ගායනය යනුවෙන් අදහස් වූයේ ‘විරුදාවලි’ ගායනයයි. විශේෂ උත්සවවලදී ප‍්‍රභූන් හට ‘විරිදු’ ගැයීමත් අළුත විවාපත් යුවළක් වෙනුවෙන් විරිදු ගායනා කිරීමත් දැනට වර්ෂ 130 කට පමණ පෙර ලංකාවේ දකුණු දිග ප‍්‍රදේශවල පැවති චාරිත‍්‍රයකි. විරිදු නමින් අදහස් කරනුයේ විරුදාවලි ගායනයයි.මහනුවර රාජ සභාවේ රජවරුන් සඳහා ද ප‍්‍රශස්ති ගායනයටද අත් රබාන යොදා ගෙන ඇත. රබන් ගී ගායනා කිරීමේදී රබාන කරකැවීම හා විවිධ රංගන යොදමින් වාදනය කිරීම දැකිය හැකිය.මීට අවුරුදු 110 ට පමණ පෙර මේ ගී විශේෂය ගායනා කළේ ප‍්‍රභූන්ගේ ගුණ වර්ණනා කිරිමටයි. මෙ හැරුණ විට මඟුල් ගෙවල්වලත් විරිදු කීම සිරිතක්ව පැවතිණ.විරිදු ගායනයෙදී එක අතකට ගිගිරි වළලු දමාගෙන සුළු වශයෙන් නටන සිරිතකුත් ඊට අයත් වේ. මෙලෙස විරිදු ද, ප‍්‍රශස්ති ගී ලෙස හැඳින්විය හැක.විරිදු ගී සඳහා නාඩගම් සංගීතයේ ආභාසය ලැබී ඇත. නාඩගම් සංගීතයේ එන ‘පසන්’ නමැති තාලය විරිදු ගායනා සඳහා යොදා ගැනේ.ගුවන් විදුලියේද විවිධ තනු හා තාලවලට බැඳුණු විරිදු ගායනා ප‍්‍රචාරය කෙරුණි.

කෝළම් ගීලංකාවේ දකුණු පළාතේ වෙරළබඩ ගම්මානවල කෝලම් නාට්‍ය ප‍්‍රචලිතව පැවතුණි. ලොව නානා විධ රටවල නානා විධ සංස්කෘතීන් තුළ ආදිකාලීන මිනිසුන් අතර වෙස් මුහුණු බැඳ නැටීමේ මෙම නාට්‍ය, පහත රට තොවිල්වල දහඅට සන්නි යාගයෙන් ප‍්‍රභවය ලද බවක් කියැවේ.මේවා ලක්දිව ගම්බද ජනයාගේ බලිතොවිල්, මන්ත‍්‍ර යාගානුකූල ඇදහිලි ආදියෙහි ආභාෂය ලැබී ඇති බව පෙනේ. කෝලම් නැටුම සඳහා ලයාන්විත රිද්මයකට බැඳුණු කවි සහ දෙබස් යොදාගනී.කෝලමේ එන සූත‍්‍රධාරියා වන පොතේගුරා තම කොටස ඉදිරිපත් කරන්නේ ගීත ස්වරයෙනි. ඇතැම් විට තවත් පිරිසක් අත්වැල් ගායනයට සහභාගි වෙති. පොතේ ගුරා හේවාරාළ විස්තර කරන කවිය මෙය. ‘කග පලග අඩයටි – දරා සුරතින් සැරමිටිරඟ බලා එන බුහුටි - බලන් හේවාරාළ එන හැටිමෙම කෝළම් නැටුම්වල එන ගද්‍ය හා ගීත කොටස් මඟින් වැඩි වශයෙන් උපහාසය, හාස්‍යය, භයානක සහ ශෘංගාර යන රස මතුකර පෙන්වයි. කෝළම් නම් නැටුම් විශේෂය රඟදක්වන්නේ පහත රට ප‍්‍රදේශයන්හිය. වාදනය සඳහා උපයෝගීී කරගනු ලබන්නේ යක්් බෙරය හෙවත් ඝෝෂක බෙරයයි. සඳ කිඳුරු කෝළම මනමේ කෝළම, ජසයා හා ලෙංචිනා, පොලිස් කෝළම යනාදි කෝළම් අද පවා රඟදක්වයි.

ප‍්‍රශස්ති ගී” “ප‍්‍රශස්ති ගී” ගායනා කළේ රාජ සභාවලය. පැරණි රාජ සභාවලදී රජුන් පිළිබඳ වර්ණනා කිරීමට යොදාගත් ගී විශේෂයට ‘ප‍්‍රශස්ති ගී’ යැයි කියනු ලැබේ. රජවරුන්ගේ සහ ප‍්‍රභූවරුන්ගේ වීර වික‍්‍රම භාවයත්, යුද්ධ ශිල්පයෙහි දැක්වූ නිපුණත්වයත්, ගුණ වර්ණනයත්, ඔවුන්ගේ ත්‍යාගශීලී බව, නැණවත් බව ආදී ලක්ෂණයන්හි ගී වලින් ගායනා කර ඇත. ‘ප‍්‍රශස්ති’ යන්නෙන් ‘වර්ණනාව‘ යන අදහස ගෙනදේ. එම නිසා එකී වර්ණනාවන් මුල්කොට ප‍්‍රබන්ධ කරන ලද ගීත ඇති ග‍්‍රන්ථ ‘ප‍්‍රශස්ති’ ග‍්‍රන්ථ නමින් හැඳින්වේ.සිංහල සාහිත්‍ය වංශයෙහි ඇති ප‍්‍රශස්ති කාව්‍ය කීපයක් නම් පැරකුම්බා සිරිත, ශ‍්‍රී නාමය හා පරංගි හටනයි. මෙම ගීත රාජ මාළිගාවල සේවය කළ “වන්දිභට්ටයන්” විසින් ගායනා කළ බව කියැවේ. ප‍්‍රශස්ති ගායනය සඳහා උඩැක්කි, පන්තේරු, බෙර හා අත් රබන් වැනි දේශීය භාණ්ඩ උපයෝගි කරගෙන ඇත.මේවා ප‍්‍රබන්ධ කළ අයට රජවරු විසින් තාන්න මාන්න හා ගම්වර පවා තෑගි කළ බව ඉතිහාසයෙන් දැක්වේ.ඒ කාලවල සිටි රජවරුන් සොලී, හා පාණ්ඩ්‍ය ජාතීන් හා සම්බන්ධකම් පැවැත්වූ නිසා දකුණු ඉන්දියානු සංගීතඥයින් අතින් මෙම ප‍්‍රශස්ති ගී වලට තනු නිර්මාණය කෙරී ඇත.ප‍්‍රශස්ති ගීතවල අර්ථ රසයට වඩා ශබ්ද රසයට මුල් තැන ලැබී ඇති බව පෙනේ. කෝට්ටේ හා මහනුවර යුගවලදී රචිත සමහර සිංහල ගැමි ගීතවල ආභාෂයෙන් ප‍්‍රබන්ධ වූ ප‍්‍රශස්ති ඇත. ‘දුනුවිල හටන’ හා ‘පැරකුම්බා සිරිත’ ඉන් සමහරෙකි.

සව්දම්සිංහල “සව්දම්” ගී පැරණි ජනප‍්‍රිය ගී විශේෂයකි. මේවා වැඩි වශයෙන් විනෝදයට සහ ශාන්තිකර්ම සඳහා ගායනය කර තිබේ. මෙහි එක් විශේෂ ලක්ෂණයක් වන්නේ ගීතයත් සමඟම බෙර තාලයට අනුව කරන සංවාදයයි. ගායකයා හා වාදකයා තරගයකට මෙන් සව්දම් පද මාරුවෙන් මාරුවට ගයා සිය දස්කම් දක්වති. “සව්දම් ජෙමා” යනුවෙන් බොහෝ ප‍්‍රසිද්ධ සව්දම් ගායකයෙක් සිටියේය.සව්දම් ගී උඩ පහත රට දෙකෙහිම ප‍්‍රචලිතය. මෙහි පහත දක්වෙන්නේ ශාන්තිකර්ම සඳහා ගයන “සව්දම්” ගීයකි. මෙය පත්තිනි දේවීන් වහන්සේට කරනු ලබන කන්නලව්වකි. මින් ආතුරයාගේ ලෙඩ දුක් දුරැර ආරක්ෂා කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටියි.

නිතින දනමන සවන පිනවනදුල් සිරින් දෙවඟනක විලසාපතිනි සුරිඳුට නැමඳ කියනෙමිනරන් හට සෙත දෙන ලෙසා

අතිනි ගනරන් සළඹ අරගෙනනරන් උවදුරු හරින විලසාගයමි අද මම පතිනි සව්දම්මේ සබේ මැඳ පුදුම විලසා

නාඩගම් ගීදහසය වැනි සියවසේ මැද භාගය තවත් වැදගත් සිදුවීම්වලට මුල් වු අවදියකි. පෘතුගීසීන් ලංකාවට පැමිණීමත් සමඟම ඔවුන් ගේ කිතුණු ඇදහිලි හා යාතිකා ලක්දිව පතල වන්නට විය. මෙසේ පෘතුගීසීන්ගේ හා ලන්දේසීන්ගේ ඇදහිලිවලට හුරු පුරුදු වූ සිංහල ජනතාව බයිලා, කපිරිඤ්ඤා වැනි ගී විශේෂයකට ඇබ්බැහි වන්නට විය. ඒවා එතරම් කල් සිංහල මිනිස් ලේ තුළ රැ‍ඳෙන බවක් පෙනුනේ නැත.දහනව වැනි සියවස මුල් භාගය වන විට කලාකාමී ජනතාවට යහපත් සෞන්දර්යකාමී වින්දනයක් ලැබීමට අවස්ථාව උදාවිය. නාඩගම් සම්ප‍්‍රදාය සඳහා කෝලමෙහි ද ආභාෂය ලැබිණි. එමෙන් ම මේ සඳහා දකුණු ඉන්දීය “තෙරිකුත්තු” ජන නාට්‍ය ගී වල පහසත් ලැබී තිබේ. මෙම නාඩගම්වලට ගද්‍ය කොටස් මෙන්ම ගීත ද ඇතුළත් විය. ගද්‍ය වාසගම් යෙදුවේ හාස්‍ය තියුණු කර පෙන්වීමටය. ගීත මඟින් “ශෘංගාරය” උසස් ලෙස විදහා පෑවේය.මෙරට මුල්ම නාඩගම් රචකයා පිලිප්පු සිංඤී මහතාය. 1777 දී මෙලොව එළිය දුටු ඔහු 1840 දී මිය ගිය බව සඳහන් වේ. ඔහු කොළඹ නගරයේ කම්මල්කරුවෙකු වශයෙන් ජීවත් වූ බව පැවසේ.ඔහු විසින් රචිත නාඩගම් සමහරක් නම් ඇහැලේපොළ, මාතලන්, සෙන්ගප්පු, සිංහවල්ලි, ජුසේ පුත් කතාව, ජුසෙවු කතාව, හෙලේනා කතාව, සන්නි තුලා නාඩගම, රජතුන් කට්ටුව, සුළඹාවතී නාඩගම සහ හුනුකොටුවේ යන නාඩගම්ය.පිලිප්පු සිංෙඤී ඇතුළු අනෙකුත් නාඩගම්කරුවන් කතෝලිකයන් වූ හෙයින් මෙම නාඩගම් සඳහා කිතුනු “කන්තාරු ගී” හෙවත් “පසන් ගීී”වල ආභාසය බෙහෙවින් ලැබී තිබේ. මුලින් නාඩගම් සංගීතය සඳහා දකුණු ඉන්දියානු කර්ණාට සංගීතය බලපා තිබුණ ද පසුව හින්දුස්ථානි සංගීතයේ රාග තාල මිශ‍්‍ර වී ඇති බව පෙනේ.

උරුට්ටුවනාඩම් සංගීතයෙහි ප‍්‍රධාන වශයෙන් පිළිබිඹු වන හා නාඩගමට සුවිශේෂී වූ සංගීත ආකෘතියක් පවතී. “උරුට්ටුව“ නමැති ගී ඛණ්ඩයෙන් යුත් තනු ආකෘතියකි. මෙහි අර්ථය වන්නේ අලංකාරය, ආභරණය යන්නයි. මෙය ආභරණයක්, අලංකාරයක් වන්නේ නාඩගම් ගීයටය. උරුට්ටුවේ රිද්ම රටාව වන්නේ ගීතයේ මූලික ලය “ද්වී ගුණ” වශයෙන් යොදා ගැනීමයි.සිංහවල්ලි, සිංහබාහු, මනමේ, කාලගෝල, සඳකිඳුරු බ‍්‍රම්ෆෝඩ්, බැලසන්ත වැනි නාඩගම්වල රචනා වී ඇත්තේ ගැමි රටාවකිනි. එම ගීත පුළුල් ස්වර ක්ෂේත‍්‍රයක් ඇසුරු කරයි. නාඩගම් ගීත විශේෂයෙන් ම ගීත නාටක ශෛලියට අයත් වේ.

හටන් ගීරණ පිටියට යන සෙබළුන් දිරි ගැන්වීම උදෙසා ගැයූ ගී ‘රණ ගී’ නමින් ද හැඳින් වේ. රණකාමිත්වය දනවන සටන් පිළිබඳව වර්ණනා ඇතුළත් කොට රචනා කොට ඇත.පසු කාලීනව හටන් කවි හා රණ කෙළි ගී මුද්‍රිතව සීතාවක හටන, කොන්ස්තන්තීනු හටන, පෘතුගීසි හටන, පරංගි හටන, ඉංග්‍රීසි හටන, ඇහැළේපොළ හටන, දුනුවිල හටන සහ තවත් හටන් කාව්‍ය ග‍්‍රන්ථ සමූහයක මෙම ගී ඇතුළත් වී ඇත. ඒවායේ අර්ථ රසයට වඩා ශබ්ද රසයට මුල් තැන දී තිබේ.කෝට්ටේ යුගයෙන් පසුව නිර්මාණය වූ හටන් කවි ගී සම්ප‍්‍රදාය විශේෂයෙන් සීතාවක හා සෙංකඩගල රාජධානි සමයේ ප‍්‍රකටව පැවති බවට සාධක ඇත.සිංහල යුද හමුදාව පරදේශීන් සමඟ සටන් වැද ජයගෙන රණ කෙළි ගී ගයමින් උඩැක්කි පන්තේරු , කයිතාලම් වයමින් රණකෙළි නැටුම් නැටූ බව යුද ඉතිහාසයේ සඳහන් වේ. ඉක්බිතිව එළැඹෙන හටන් සඳහා සූදානම් වීමේදී ද යම් යම් ස්ථානවල කඳවුරු බැඳ පෙර ජයගත් සටන් සිහිපත් කරමින් රණ ගී ගයා රණ කෙළි නැටුම් නටා සිය මානසික ශක්තිය වර්ධනය කරගත් අයුරු කියැවේ.

ටීකා සීපදටීකා සීපද යනු ජනකවි විශේෂයකි. ගද්‍ය ස්වරූපයකට සමානකමක් දක්වන ගායනයක් ද, සිවු පද විරිතට අනුකූලතා දක්වන පද්‍ය ස්වරූපය දනවන ගායනයක් ද සහිතව ‘ටීකා සීපද’ ප‍්‍රචලිතව පවතී.තවත් ආකාරයකින් පැහැදිලි කරතොත් ‘ටීකා සීපද’ යනු වාසකම් පැදියක් සෙ දිග හෑල්ලකින් ගායනා කොට ඊළඟට කවි පදයක් ගායනා කරනු ලබන කවි විශේෂයකි. මෙසේ සැහැල්ල වෙන්වූ පැදි හතරක් සමඟ කවි පද හතරකින් යුක්ත වූ කල ටීකා සිවුපදය සම්පූර්ණ වේ.කොහු ලණු අඹරන, කුරහන් අඹරන, පොල්අතු වියන ගැමි ලියන් මෙම ටීකා සිවුපද ගායිකාවන් වන අතර පිරිමින් ද තාලයට ඇද පැද දෝංකාර දෙන පරිද ශබ්ද රසය හා හාස්‍යය රසය මතු කරමින් ටීකා සීපද ගැයූ බව කියැවේ. ඇතැම් විට මෙම ජන කවි විශේෂයේ අර්ථය නිසි පරිදි නිරවුල් කරගත නොහැක. බොහෝ විට කවි ගයන සහ කවි අසන දෙපාර්ශ්වයේම හුදු විනෝදය, රසවින්දනය, පිණිසම ටීකා සීපද නිර්මාණය කොට ගායනා කරන්නට යෙදුන බව ප‍්‍රකට මතයකි.

පංචතූර්ය, හේවිසි, රබන්සිංහල ජනශ‍්‍රැතියේ භාවිතා වන ආදි කාලයෙ පටන් පැවත එන ජන සංගීතයේ අංගයක් ලෙසත් ‘පංචතූර්ය නාදය’ හැඳින්වේ. කි‍්‍ර. පූ. 207 දී වැනි ඈත කාල වකාවානුවල සිට ‘පංචතුර්ය නාදය’ පවත්වා ඇත. මේ සඳහා යොදාගනු ලැබූයෙ විවිධ බෙර වර්ගයන්ය. වර්තමානයේදී ජන ගී ගායනය සඳහා උඩැක්කි, තම්මැට්ටම්, රබන්, ගැටබෙර වැනි අඩනද වාද්‍ය භාණ්ඩයන්ගේ සහාය ලබාගනී. මෙම භාණ්ඩ ‘පංචතූර්ය වාදන’ භාණ්ඩ යනුවෙන් ද හැඳින්වේ.(1) ආතත (2) විතත (3)) විතතාතත (4) ඝණ (5) සුෂිර නම් වේ.ආතත යනු අතින් වයන බෙරයන්ය. උඩැක්කි,, ගැටබෙර, ඝෝෂක, බෙර ආදිය නිදසුන් ලෙස දැක්විය හැක. විතත යනු කෝටුවක ආධාරයෙන් වයනු ලබන බෙර වර්ග වේ. දවුල, තම්මැටිටම එසේ වයන වාදක භාණ්ඩ වේ.විතත යනු අතින් හා කෝටුවෙන් වයනු ලබන භාණ්ඩවේ. ‘දවුල’ එසේ වයන බෙරයකි. ඝණ යනු තාලම්පට වැනි තත් තැබීමට උපයෝගී කරගන්නා භාණ්ඩ වේ. පිඹීමෙන් නාදය උපදවා ගන්නා නලා උපකරණ ‘සුෂිර’ යනුවෙන් හැඳින්වේ. හක්ගෙඩිය, හොරණෑව, නලා ආදිය ‘සුෂිර’ භාණ්ඩ වන්නේය.විශේෂයෙන්ම ජන ගී ගායනය සඳහා වාද්‍ය භාණ්ඩයක් ලෙස බොහෝ විට උපයෝගී කරගනු ලබන්නේ රබානයි. විශේෂයෙන් ‘විරිදු’ වැනි ගායන සඳහා අත් රබාන් උපයෝගී කොට ගැනේ.

වන්නම්‘වන්නම්’ ‘වර්ණනාව‘ යන අර්ථය ගෙන දෙන වදනකි. මෙය ද්‍රවිඩ භාෂාවේ එන ‘වර්ණම්’ යන වචනයෙන් විකාශනය වූවකි.මේවා මහනුවර යුගයේ ශ්‍රී වීර පරාක‍්‍රම නරේÁද්‍රසිංහ නම් සිංහල රජතුමාගේ් කාලයේ ආරම්භ වී ඇති බව කියැවේ.වන්නම් පාරම්පරික නළු ගී විශේෂයක් ලෙස සැලකේ. මහනුවර යුගයේදී වන්නම් වඩාත් දියුණුව වී ඇත. න්නම් ගායනයෙදී තාල භාණ්ඩ වශයෙන් ගැටබෙර හා තාලම්පට ද යොදා ගනු ලැබේ. වන්නම්වලින්් වර්ණනා කරන්නේ සතුන් හා නොයෙකුත් සිදධීන්ය. මේවා  වැඩි වශයෙන්   නටමින්   ගායනය කරනු ලබයි.වන්නමේ මුල් කොටස ‘තානම’ ද ඉතිරි කොටස ‘කවිය’ වශයෙන් ද හැඳින්වේ. එය විශේෂ ලක්‍ෂණයකි. එම තානමේ තනුව අනුව මාරුවෙන් මාරුවට ගීත කොටස් සහ තානම ගායනා කරනු ලබයි.තානමේ ඇත්තේ ශබ්ද රසයක් පමණි. තානමේ නාද මාලාව අනුව කවි ගායනය කරනු ලැබේ. පාරම්පරික උඩරට වන්නම් 18 කි. සබරගමු වන්නම් හා පහත රට වන්නම් අද භාවිතයෙ පවතී. මෙම වන්නම් සියල්ලක්ම භාවිතා කෙරෙනුයේ පාරම්පරික චාරිත‍්‍රවලට මූලික තැනක් ලැබෙන ලෙසිනි.

නෘත්‍ය ගී - සංගීතයනාඩගම් සංගීතයෙන් පසුව ලක්දිව ව්‍යාප්ත වූයේ නෘත්‍ය සංගීතයයි. නෘත්‍ය සංගීතයට නාඩගම් ගී තනු බලපෑව ද වඩාත් ප‍්‍රබල වූයේ උතුරු ඉන්දීය හින්දුස්ථානි සංගීතයයි. මේ යුගය දැනට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචලිතව පවතින හින්දුස්ථානි සංගීතයේ අඩිතාලම වැටුණු අවදි හැටියට සැළකිය හැකියි. මෙය මෙරට “ශිල්පීය සංගීතයට” නැඹුරු වූ වැදගත් සන්ධිස්ථානයකි.කේ. එම්. ඔලිවාලා නමැති සංගීත ශිල්පියාගේ ප‍්‍රධානත්වයෙන් කි‍්‍ර. ව. 1900 දි බොම්බායේ සිට ලංකාවට පැමිණි සංචාරක නාට්‍ය සමාගම් මගින් මෙහි පළමුවරට ප‍්‍රධාන නගර කීපයක නෘත්‍ය පෙන්වීම ආරම්භ කෙරිණි. ඒ අනුව මෙම නාට්‍ය ක‍්‍රමයේ ආභාෂය ලැබූ සිංහල කලාකරුවන් ද නාට්‍ය නිෂ්පාදනය ආරම්භ කළ අතර, නියම නෘත්‍ය  ස්වරූපය ඉසිලූ ප‍්‍රථම නාට්‍යය වූයේ 1885 සැකසූ “රෝමියෝ ජුලියට්” නම් නාට්‍යයයි.”රැඟීමත් සමග ගැයීම” “නෘත්‍ය ” හෙවත් “ටීටර්” යන්නෙහි අදහසයි. ඒ අනුව මෙරට සිංහල නුර්ති නිෂ්පාදනය සඳහා සී. දොන් බස්තියන්, ජෝන් ද සිල්වා හා චාල්ස් ඩයස් යන විද්වතුන් ප‍්‍රධාන පිරිසක් මෙරට ජනයා ගේ ජාත්‍යාලය, වීරෝදාර දේශපෙ‍්‍ර්මී බව තම නුර්ති සංගීතය තුළින් ඉදිරිපත් කළේය.නුර්ති ගීය හා නෘත්‍ය  සංගීතය තුළින් ඉස්මතු වූයේ හින්දුස්ථානි සංගීතයයි. නෘත්‍ය  ගී මඟින් ආදරය, කරුණාව හා ශෘංගාරය ඉදිරිපත් කෙරිණි.රොලීනා, දුටුගැමුණු, රාමායණය, සිරිසගබෝ, රත්නාවලි, සකුන්තලා, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ, පණ්ඩුකාභය, ධර්මාශෝක, කුස ජාතකය, විදුර ජාතකය හා පද්මාවතී යන නාටය්‍යයන් මෙරට රඟ දැක්වූ නාට්‍ය අතර ප‍්‍රධාන තැනක් ගැනේ.

මෙම නෘත්‍ය වල එන ගීත තනු භාරතීය සංගීතය ආභාෂ කොට ගෙන සැකසුණි. ඒ අනුව භාරතීය සංගීතය ලක්දිව ප‍්‍රචාරයට පත්වීමට නෘත්‍ය නාටක හා නෘත්‍ය ගී උපකාරී වූවා මෙන් ම ඉන් සිංහලයන් උතුරු ඉන්දීය සංගීතය ඉගෙන ගැනීමට පෙළඹවීමක් සිදු විය. නෘත්‍ය ගීතවල තනු සැකසුනේ උත්තර භාරතිය “රාග“ ඇසුරු කොට ගෙනය. නෘත්‍ය ගී සඳහා ප‍්‍රධාන වශයෙන් සහාය කර ගන්නා ලද සංගීත භාණ්ඩ වශයෙන් සර්පිනාව, වයලීනය, තබ්ලා හා ඩෝල්ක් හැඳින්විය හැක. නාඩගම් ගීතවල විශේෂ කොටසක් වූ උරුට්ටුව‘ වෙනුවට නෘත්‍ය ගීතවල අඩංගු වූ විශේෂ අංගයක් ලෙස සැලකිය හැක්කේ ඇදී යන ස්වරූපයෙන් තාල විරහිතව ගැයෙන “දොහොරා” නම් කොටසයි. සෑම නෘත්‍ය ගීතයකම “දොහොරා” යන කොටස ඇතුළත් යයි මෙයින් අදහස් නොවේ.නෘත්‍ය  සඳහා නියමිත වූ කතා අංග සම්පූර්ණ වේදිකාවක් මත රඟදැක්වීම, විචිත‍්‍ර ඇඳුම් පැළඳුම්, වේදිකා සැරසිලි හා ජවනිකාවලට අවශ්‍ය පසුබිම් තිර සකසා ගැනීම හා විවිධ ජවනිකා ආදියේ දී ඒවා යන්ත‍්‍රානුසාරයෙන් කි‍්‍රයාත්මක කර පෙන්වීම නෘත්‍ය  වල ඇති සුවිශේෂී ලක්ෂණයන්ය.ජෝන් ද සිල්වා ගේ රාමායන නාට්‍යයේ රාම කුමරා නැතිවී වනයේ තනිවී පසුවන අස්ථාවේ සීතා කුමරිය වැලපෙන්නේ මෙලෙසිනි.1. “රකිනු ඊශ්වරා - රකිනු ඊශ්වරාමෙ අප සැම සකල අපල දුරැර නොහැරසිරි සැප සලසා ද බැද්දේ ඉන්න අපටඅපල දුරහැරා - රකිනු ඊශ්වරා

2. නිදුකිනි අප රැක සිහිල් - දෙනු මැන සෙත සිරි විපුල්ඔබ ගුණ මහිමේ ප‍්‍රකාර - වේය ඊශ්වරා - රකිනු ඊශ්වරාරාම කුමරු නැති සොවින් වැළපෙන සීතා ඒ රාම කුමරු මෙසේ අමතයි.”සිතා මා සිරියා ඉන්නේ - කොහෙදෝ මෙකලාබොහෝ වේය ශෝකා මාගේ - දෙදරා හදාදැන් යමී ඈව සොයා - ඈව නොදැක්ක මගේමෙහි මැරි යාම වේ දැන් - රාවනා කළ මෙව්නේ//

සේ ගීවියතුන් විසින් බඳනා ලද ගී “සේ ගී” නමින් හැඳින් වේ. සිංහල සංදේශ පොත්වල ඇත්තේ “සේ ගීය.” ලෝවැඩ සඟරාව, ගුත්තිල කාව්‍ය, බුදුගුණ අලංකාරය, සුභාෂිතය හා පැරකුම්බා සිරිත ආදී ග‍්‍රන්ථයන්හි ඇතුළත් ගී “සේ ගී” ගණයට වැටේ.ආගමික, සංස්කෘතික, ඓතිහාසක හා සෞන්දර්යාත්මක තේමාවන් යටතේ “සේ ගී” රචනා කොට ඇත. රචකයාගේ උගත් බව හා පාණ්ඩිත්‍ය පෙන්වීම ද මෙහි එක් පරාමාර්ථයක් වී ඇති බව පෙනේ.මෙම “සේ ගී” බොහෝ විට ගැමි ගී නාද මාලා මෙන්ම ගැයෙන බව පෙනේ. මිනිසා තුළ ඇති වින්දන ප‍්‍රකාශ කරන එක් උසස් මාධ්‍යයකි. සාහිත්‍ය කලාව, ගද්‍ය සාහිත්‍යයට වඩා පද්‍ය සාහිත්‍ය මේ උසස් කාන්ත ගුණයෙන් යුක්තය. පද්‍ය ගීතවත් බවින් හා ශ‍්‍රවන මාධුර්යයෙන් අනූනය. එම නිසා පද්‍යයෙන් නැගෙන ගීත ස්වරය හෙවත් හඬ කිසියම් හැඟීමක් සහෘදයාගේ මනසට කා වදින සේ ප‍්‍රකාශ කිරීමට කවියාට පිටුවහලක් වේ.පද්‍ය සාහිත්‍ය මෙතරම් වින්දනයක් ගෙන දීමට හේතුව කුමක්ද? පද ලෙළවා තාලයකට හෝ රිද්මයකට ගායනා කළ හැක්කේ පද්‍යයි.ශබ්දයත් අර්ථවත් කාව්‍යයෙහි ශරීර වේ යැයි සාහිත්‍ය දර්ශනකාරයින් පවසන්නේ මේ නිසාය. පද්‍ය රස වින්දනයට, අර්ථ රසය මෙන්ම ශබ්ද රසය ද වැදගත් වේ. කුඩා දරුවෙකු මෙවන් පැදියක අර්ථය නොදැනත් හුදෙක් කර්ණ රසායන වු ගායනය අසා ඉන් වශීව සැපසේ නිදයි. එමෙන් ම රෑ මදුරුවන් තලමින් සීතලේ හේනේ, පැලේ තනියම පැළ රකින ගොවියා තම ජීවිතයේ දුක්බර ගතිය මොහොතකට අමතක කර දමා සැනසිලි සුවයක් ලබන්නේත් පද්‍යයෙන් ඇති ශබ්ද රසයේ මහිමයෙනි. මෙයින් අපට පෙනී යන්නේ ශබ්දය රසවත් කරන්නේ වෘත්තය හෙවත් “විරිත” බවයි.දක්ෂ සිත්තරා තම චිත‍්‍රය දකින්නන්ගේ නෙත් ඇද ගැනීම සඳහා තැනට සුදුසු වර්ණ තොරා ගන්නේ යම් සේ ද එසේම උසස් කවියා ද තමා ප‍්‍රකාශ කරන අදහසට වඩාත් උචිත අන්දමින් විරිතක් තෝරා ගනියි. හැඬීම, වැළපීම සඳහා එක් විරිතක් ද, නැටුම සඳහා තව විරිතක් ද, බුදු හිමියන්ගේ ශාන්ත කරුණා ගුණ මහිමය කියා පෑමට තවත් විරිතක් ද තෝරා ගනී. ලෝවැඩ සඟරාවේ ඇති සියලුම පද්‍ය ප‍්‍රබන්ධ කොට ඇත්තේ මාත‍්‍රා දහසයේ විරිතිනි. ඉන් බුදුරදුන්ගේ ශාන්ත, කරුණා ගුණ මහිමය මනාව පෙන්නුම් කෙරේ. මෙහි දී පෙනී යන තවත් කරුණක් නම් පද්‍ය ගායනා කරන වේගය හෙවත් ලය අනුව හැඟීම් උද්දීපනය වන බවයි.සිංහල සාහිත්‍යයේ මුල්ම කව් බැඳී ඇත්තේ ගී විරිතෙනි. පසු කලක දී තාලයකට ගායනා කළ හැම “පද්‍ය විරිත්” රාශියක් ඇති විය.පද්‍ය ගායනයට උපදෙස් එළු සඳෙස් ලකුණෙත්, දඹදෙණි යුගයේ මුල් අවදියේ ලියැවුණු සිදත් සඟරාවේත් සඳහන් කර ඇත. එම විරිත් එකල ජනප‍්‍රියවීමට හේතුව කුමක්ද? එම විරිත් වල ඇති ශබ්ද ස්වර, ශබ්ද මාධුර්යය සමඟ මුසු වී ඒවායේ ඇති ගීතමය ගුණයයි. මේ නයින් බලන කල නාට්‍ය ශාස්ත‍්‍රයෙහි “භරත මුණිහු” පෙන්වා දෙන ලද රස භාවයන් නොඅඩුව නිෂ්පන්න වේ.එබැවින් පද්‍යයක අර්ථ රසය මෙන්ම ශබ්ද රසය ද වැදගත් වේ. මෙම රස වින්දනයට පද්‍යයක වෘත්තය, ලය, ශබ්ද ධ්වනි, එළිසමය, අනුප‍්‍රාසය යමනාදී දෑ උද්දීපනය වන පරිදි නියම විරිතෙන් හඬ නගා ගායනා කිරීම අවශ්‍යය.

වැදි ගීත”ආදි වාසීන්” නමින් හඳුන්වන වැදි ජනයා අදට ද ශ‍්‍රී ලංකාවේ දිගාඩුල්ල, බිම්තැන්න වැනි ප‍්‍රදේශයන්හි ජීවත් වෙති. ඔවුන්ගේ ගති ගුණ, සිරිත් විරිත්, කි‍්‍රයාකාරකම් වෙනත් ජන කොටස්වලට වඩා බොහෝ වෙනස්ය. වැදි බස ඉතා සීමිත වචන සංඛ්‍යාවකින් සෑදී ඇත්තා වූ නමුදු සිංහලයන්ගේ ජන බස ද මේ සඳහා මිශ‍්‍රව පවතී. වනගත ජීවිතයක් ගෙන යනු ලබන වැද්දෝ සිය දුක් කම්කටොලු කියා පෑමටත්, දරුවන් නැලවීමටත් රංගනයන් ඉදිරිපත් කිරීමටත් වැදි ගී ගායනය කරති. ඇතැම් අවස්ථාවක කිසිදු ගී ආරක නැති රිද්මයක් හා විවිධ විරිත් මෙම වැදි ගී අතර අසන්නට ලැබේ.”කිරි කොරහා” නැටීම ශ‍්‍රී ලංකාවේ වැද්දන් අතර පවත්නා ශාන්ති කර්ම විදියකි. මෙය පාරම්පරික යාගයකි. වැද්දන්ගේ පාරම්පරික ඇදහිලි, සිතුම් පැතුම් හා විශ්වාස මෙමගින් හෙළි වේ.ඇතැම් අවස්ථාවක කිසිදු ගී ආරක නැති රිද්මයන් හා විරිත් මෙම වැදි ගී අතර අසන්නට ලැබේ.

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife