නිවස නිර්මාණ නිර්මාණ පෙරහැරක වතගොත

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
පෙරහැරක වතගොත පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

පෙරහැරක වතගොත

ලාංකීය සංස්කෘතිය තුළ පෙරහරට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. වසර දහස් ගණනක් වූ ඈත අතීතයේ සිටම නොයෙකුත් අරමුණු, අභිප‍්‍රායන් උදෙසා පෙරහර පවත්වා ඇති බව පෙනී යයි. මහින්දාගමනයෙන් පසු බෞද්ධාගමික පසුබිමත් සමඟ වර්ධනය වූ අපගේ සංස්කෘතිය තුළ ආගමික කාර්යයන් උදෙසා පෙරහර පැවැත් වූ බව ඉපැරණි වංස කතා දෙස බලන විට පෙනී යයි. ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කර අනුරාධපුරය දක්වා රැගෙන ඒමේ දී පෙරහර පවත්වා පුද පූජා කළ බව මහා වංසයේ සඳහන් වේ. බෞද්ධාගමික මුහුණුවරක් ගත් පෙරහරට පසුකාලීනව ද්‍රවිඩ ආභාෂයද ලැබීම හේතුවෙන් එයට තව තවත් අංගයන් එක් විය. දළදාව මෙරටට වැඩම වූ පසු එකල රජවරුන් විසින් වාර්ෂිකව දළදාව පෙරහරින් වැඩමවා පුද පූජා කළ අතර කාලයත් සමඟ එය ආගමික උත්සවයක් බවට පත් වූ බව පෙනී යයි. යටත්විජිත යුගයෙන් පසු දන්තධාතුව මහනුවර දළදා මාලිගාවේ තැන්පත් කිරීමෙන් පසු දළදා පෙරහරද මෙරට සංස්කෘතිකාංගයන් අතර ප‍්‍රමුඛස්ථානයක් ගැනීමට සමත් වී ඇත. වර්තමානයේ පවා ලාංකීය බෞද්ධයන්ගේ සංස්කෘතික උත්සව අතර ඉතා වැදගත් උත්සවයක් ලෙස ඇසළ උත්සවය සහ එය පසුබිම් කරගෙන පැවැත්වෙන දළදා පෙරහර හැඳින්විය හැකි ය.

සතර මහා මංගල්ලයදළදා මාලිගාවේ වාර්ෂිකව මහා මංගල්ලයන් හතරක් පැවැත්වේ. සිංහල මාස ක‍්‍රමයට අනුව අපෙ‍්‍ර්ල් මාසයෙන් පටන් ගත් විට අපේ‍්‍රල් මාසයේ සිංහල අලුත් අවුරුද්දට පවත්වන අවුරුදු මංගල්ලය, ඉපැරණි සංස්කෘතියේ දේව ඇදහිල්ල සලකුණු කරමින් ජූලි, අගෝස්තු මාස වලදී පැවැත්වෙන සුප‍්‍රසිද්ධ ඇසළ මංගල්ලය, නොවැම්බර් මාසයේ දී පවත්වනු ලබන කාර්තික මංගල්ලය සහ අලුත් අස්වැන්න ලබා ගැනීමෙන් පසු ජනවාරියේ දී පවත්වනු ලබන අලුත් සහල් මංගල්ලය යන මේවා සතර මහා මංගල්ලය යනුවෙන් හැඳින්වෙයි. මේ සතර මහා මංගල්ලයන් අතුරින් මෙම කාලයේ දී පැවැත්වෙන ඇසළ මංගල්ලය ලක්වාසී ජනතාවගේ වැඩි අවධානය දිනා ගෙන ඇත්තේ ඒ සමඟ පැවැත්වෙන අති අලංකාර දළදා පෙරහර නිසා ය.වසරක් පාසා දළදා මාලිගාව තුළ පවත්වනු ලබන උත්සව අතුරෙන් අති විශාලතම උත්සවය වන්නේ මෙයයි. එමෙන්ම දිවයිනේ සතර දෙසින්ම මහාජනකායක් මේ සඳහා සහභාගී වන බැවින් එම කාලයට මහනුවර නගරයම මහත් වූ උත්සවයක සිරිය ගනී. මහනුවර පැවැත්වෙන ඇසළ උත්සවයේ විශේෂත්වය වන්නේ එය දළදා වහන්සේ වෙනුවෙන්ම පමණක් පවත්වන උත්සවයක් නොවීමයි. නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන මහනුවර සතර දේවාලයන් ද මෙම උත්සවයේ දී දළදා පෙරහර සමඟ එක්වෙයි. අතීතයේ සිටම අපගේ සංස්කෘතික උත්සවයක් පවත්වන විට ඒ සඳහා හේතු වූ යම් අරමුණක් තිබූ බව පැහැදිලි වෙයි. ඇසළ උත්සවය ද ඒ සමානව යම් අරමුණක් උදෙසා පැවැත්වෙන්නකි.චාල්ස් ගොඩකුඹුරේ මහතා ඇසළ උත්සවය පිළිබඳ දක්වන අදහස් අනුව එය වැස්ස සම්බන්ධව පැවැත්වෙන උත්සවයක් බව පෙනී යයි. ඇසළ මාසය යනු සෑම වසරකම නියඟය බලවත්ව පවතින කාලයකි. දේව පූජා සහ බෞද්ධ වන්දනා හා සම්බන්ධ කෙරෙමින් පවත්වනු ලැබූවද එය වැසිඵල ලබාදෙන ආගමික උත්සවයකි. වැස්ස ලබා ගැනීමට දෙවිවරුන් යැදීම සඳහා ඇසළ උත්සවය පැවැත්වෙයි. මේ ගොඩකුඹුරේ මහතා ඇසළ උත්සවය පිළිබඳව දක්වන අදහසයි. මේ උත්සවය සහිත පූජා චාරිත‍්‍ර විධි සිංහලයන් විසින් ඔවුන්ගේ මුල් නිජබිම වන වයඹ දිග ඉන්දියාවෙන් ගෙන එන ලද බවත් සිංහලයන් බෞද්ධාගමික සම්ප‍්‍රදායයන්ට හුරු වූ පසු මෙයින් සමහරක් ශී‍්‍ර ලංකාව තුළ දී බෞද්ධ මුහුණුවරක් ගත් බවත් ගොඩකුඹුරේ මහතා වැඩිදුරටත් පවසයි.වර්තමානයේ අප දකින දළදා පෙරහර කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු සමයේ ආරම්භ වූ අතර එබැවින් දළදා පෙරහර කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමාගේ කාර්යයත් ලෙස සමහරු දකිති. එසේවූවත් දළදා වහන්සේ ලංකාවට වැඩම කළ යුගයේ පටන්ම පෙරහර පවත්වා එයට පුද පූජා කළ බව සඳහන් වේ. දළදා පෙරහර සඳහා නගරය අලංකාර ලෙස සකසා ධජ පතාක චාමර සහ මල්ගත් මිනිසුන් ඇතුන්, අශ්වයන්ද නැට්ටුවන් ද පෙරහරේ ගමන් කර ඇත. රජතුමා මැති ඇමතිවරුන් සමඟ පෙරහරේ ගමන් කළ බව සඳහන් වේ.කි‍්‍ර.ව.4 වැනි සියවසේ කිත්සිරිමෙවන් රාජ්‍ය සමයෙහි දළදා වහන්සේ ලක්දිවට වැඩමවීමත් සමඟ දළදා පෙරහරේ ආරම්භය සිදුවිය. එතුමන් විසින් ධම්මචක්කගේහ නමැති ප‍්‍රාසාදයෙහි දළදාව තැම්පත් කොට එතැන් සිට අභයගිරි විහාරයට පෙරහරින් වැඩම කොට තිබේ. කි‍්‍ර.ව. 5 වැනි සියවසේ මෙරටට පැමිණි ෆාහියන් භික්‍ෂුවගේ වාර්තා වලට අනුව දළදා වහන්සේට දින 90 ක පෙරහර පවත්වා පුද පූජා කළ බව සඳහන් ය.විවිධ හේතූන්මත ලංකාවේ රාජධානි වෙනස් වීමත් සමඟම දළදා වහන්සේත් එම රාජධානි පැවති ස්ථානවලට වැඩම කරවූ බව පෙනේ. රාජ්‍යත්වයට පත්වන පුද්ගලයා බොහෝවිට රජ මාලිගය අසලම පිහිට වූ දළදා මන්දිරයක දළදා වහන්සේ තැම්පත් කර තැබීමට කි‍්‍රයා කර ඇත. දළදාව රාජ්‍යත්වයේ උරුමයක් ලෙස එකල සැලකීම එයට හේතු වූවා විය හැක. කෙසේ වෙතත් දළදා වහන්සේ උදෙසා පෙරහර පැවැත්වීම නොකඩවා සිදුකර ඇත. පොළොන්නරු රාජධානි සමයේ මහා පැරකුම්බා රජතුමා විසින් දළදා වහන්සේ උදෙසා විසිතුරු පෙරහරක් කළ බව මහාවංසයේ සඳහන් වේ. ඉතා අලංකාර ලෙස සැරසුණු රජතුමා ද එම පෙරහරේ ගමන් කර ඇත. කුරුණෑගල සිට මහනුවර යුගය දක්වා පරසතුරු උවදුරු හේතුවෙන් විවිධ තැන්වල දළදාව සඟවා තබා ආරක්‍ෂා කිරීමට සිදු වීම හේතුවෙන් පෙරහර පවත්වා නැත.පෘතුගී‍්‍රසීන්ගෙන් ආරක්‍ෂා කිරීම සඳහා හිරිපිටියේ දියවඩන නිලමේතුමා විසින් දෙල්ගමුව රජමහා විහාරයේ කුරහන් ගලක සඟවා තිබූ දළදා වහන්සේ මහනුවරට වැඩම කරවන ලද්දේ 1 වැනි විමලධර්මසූරිය රජතුමා විසිනි. එතුමා විසින් ඇසළ පෙරහර ආරම්භ කළත් එය දළදා වහන්සේ උදෙසාම පමණක් නොව විවිධ දෙවිවරුන් උදෙසා ද පවත්වන ලද්දකි. මහනුවර යුගයේ රාජ්‍යත්වයට පත් සමහර සිංහල රජවරුන්ගේ බිසවුන් ද්‍රවිඩ ජාතිකයින් වූ නිසාත්, ඊට පසු බලයට පත් රජවරුන් නායක්කාර් වංශික රජවරුන් වූ නිසාත් ඇසළ උත්සවය සඳහාත් ද්‍රවිඩ ආභාෂය ඇති විය. දෙවැනි රාජසිංහ රජු සමයේ පෙරහර නැවතී තිබිණි. කීර්තී ශී‍්‍ර රාජසිංහ රජතුමා වැලිවිට සරණංකර හිමියන්ගේ උපදෙස් මත දේශීය සංස්කෘතියට ගැලපෙන ලෙස පෙරහර සකස් කර ඇත.ඇසළ සමයේ පෙරහර ආරම්භ වීම සුබ නැකතක් අනුව සිදුවේ.දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාලගේ උපදෙස් අනුව පෙරහර සඳහා සුබ දවස් හා වේලාවන් පිළියෙල වන අතර සිංහල රජවරුන්ගෙන් පසුව දළදා වහන්සේගේ ගිහි බාරකාරයා වූ දියවඩන නිලමේ උත්සවය සංවිධානය කිරීමේ වගකීම දරයි. ඒ අනුව උත්සවය පැවැත්වෙන සුබ දවස් හා කළ යුතු කාර්යයන් ඇතුළත් දැන්වීමක් දියවඩන නිලමේ තුමා විසින් නිකුත් කරනු ලැබේ. ඉන්පසුව කප් සිටුවීමෙන් ඇසළ උත්සවය ආරම්භ වේ. “කප” යන්නෙන් සියලු සම්පත් ලබාදෙන දිව්‍ය වෘක්‍ෂයක් හෙවත් කල්ප වෘක්‍ෂය සංකේතවත් කෙරේ. පෙරහර සාර්ථකව පවත්වා ගැනීමට දෙවිදේවතාවුන්ගේ පිහිට ලබා ගැනීම කප් සිටුවීමේ අරමුණයි. ගොඩකුඹුරේ මහතාගේ අදහසට අනුව කප යනු වැස්සට අධිපති ඉන්ද්‍ර දෙවියා සංකේතවත් කරන්නකි. කප සිටුවීමෙන් ඉන්ද්‍ර දෙවියා ප‍්‍රදේශයේ සෑම දේවාලයකම තාවකාලිකව ලැඟුම් ගත් බව අදහස් කෙරෙන බව ගොඩකුඹුරේ මහතාගේ අදහසයි.ඇසළ මස අමාවක පෝය දා එළඹෙන සුබ නැකතට කප සිටුවීම ආරම්භ කෙරේ. කප සඳහා සශී‍්‍රකත්වයේ සංකේතයක් ලෙස සැලකෙන කිරි සහිත ගසක අත්තක් යොදා ගැනේ. මේ සඳහා බොහෝ විට කොස් ගසක් තෝරා ගැනෙයි. දේවාල සතරේම කපු මහත්වරුන් මේ සඳහා සහභාගී වූවත් අත්ත කැපීමේ වගකීම විෂ්ණු දේවාලයේ කපු මහතාට පැවරේ. මේ කපු මහතා ඉස් සෝදා නහා සුදු වතින් සැරසී හොඳට මේරූ කොස් අත්තක් සතරට කපා දේවාල සතරට භාරදෙයි. කපු මහත්වරු එම කොටස් තම තමන්ගේ දේවාලවලට ගොස් හේවිසි හඬ මැද්දේ සිටුවති. ඉන් අනතුරුව ඒ ඒ දේවාල භූමිවල සිටුවන ලද කප වටා දින පහක් ඒ ඒ දෙවිවරුන්ගේ රන් ආයුධ පෙරහරින් ගෙන යනු ලබයි. මේවා ඇතුළේ පෙරහර යනුවෙන් හැඳින්වේ. මේ සතර දේවාලයන්හි පෙරහර හයවැනි දින රාති‍්‍රයේ දී පැරණි රජමාලිගය ඉදිරිපිට දේව සංහිඳේ දී පෙළ ගැසී දළදා මාලිගයේ පෙරහර ඉදිරියෙන් ද ඊට පසු පිළිවෙලින් සංවිධානය වී ගමන් කරයි. මෙය කුඹල් පෙරහර යනුවෙන් හඳුන්වයි.දළදා පෙරහර දවස් දහයක් තුළ පැවැත්වේ. එම දවස් දහයේ මුල් දවස් පහේ පැවැත්වෙන පෙරහර මෙසේ කුඹල් පෙරහර යනුවෙන් හඳුන්වයි. මෙම පෙරහර ගමන් කරන්නේ දේවාල වටා පමණි. මෙය කුඹලා නමැති සත්වයා සිය හුඹස වටා ගමන් ගන්නා ආකාරයට සමාන බැවින් එසේ හඳුන්වයි.දළදා පෙරහරේ දෙවැනි දින පහේ පැවැත්වෙන පෙරහර රන්දෝළි පෙරහර යනුවෙන් හඳුන්වයි. ඒ ඒ දේවාලවලට අයත් දෝළා පෙරහරේ රැගෙන යන බැවින් එයට රන්දෝළි පෙරහර යනුවෙන් හැඳින්වෙයි. රජ කාලයේ දී රන් දෝළිය නමින් රජුගේ අග බිසව හැඳින් වුණු නිසා ඒ කාලයේ දී මේ දෝළා සමඟ රජ බිසවුන් ද ගමන් ගන්නට ඇති බවට මතයක් පවතී.පෙරහර වර්ෂාව අනුකරණය කරන නිසා දළදා පෙරහරේ පෙළගැස්ම වර්ෂාව ආකාරයටම සිදු කෙරේ. වැස්ස ලබා ගැනීමට නම් වැස්ස අනුකරණය කළ යුතු යැයි පැරැන්නන් සිතූ නිසා වැස්සට පෙර එන හෙණ ගැසීම්, විදුලි කෙටීම් සහ වැහි වළාකුළු ආදිය නිරූපණය වන සේ පෙරහර පෙළ ගස්සවනු ලැබේ. ඒ අනුව මුලින්ම හෙණ හඬ සංකේතවත් කරමින් කසකාරයින් පැමිණේ. අනතුරුව එය කොප්පරා පන්දම්කාරයින්ගෙන් විදුලිය සංකේතවත් කෙරේ. අඳුරු පැහැයෙන් යුත් අලි ඇතුන් වැසි වළාකුළු නිරූපණය කරති.කසකාරයින්ගෙන් පසු ඔවුන් පසු පස දෙපසින් කොඩි ධජ පතාක රැගෙන යන්නෝ ගමන් කරති. ඉන් පසුව එන ඇතා පිට ගමන් කරන්නේ පෙරමුණේ රාළයි. ඔහුගේ දෑතේ පුස්කොළ පොතකි. එය ලේකම් මිටිය යනුවෙන් හැඳින්වේ. මාලිගාවේ රාජකාරි කාරයින්ගේ සේවාවන් හා දේපළ පිළිබඳ ඉපැරණි වාර්තා මෙම ලේකම් මිටිය යනුවෙන් හඳුන්වයි. ඊළඟට මාලිගාවේ හේවිසි කණ්ඩායම ගමන් ගනී. දෙවැනි ඇතා පිට ගමන් කරන්නේ තමාගේ රාජකාරි සලකුණ වශයෙන් රජතමය අංකුසයක් අතින් ගත් රජතුමාගේ ඇත් හමුදාවේ ප‍්‍රධානියා වශයෙන් සැලකුණ ගජනායක නිලමේයි.අනතුරුව පන්තේරු, උඩැක්කි, රබන් සහ ලී කෙළි නැටුම් කණ්ඩායම් සහිතව අලංකාරව සරසන ලද අලි ඇතුන් ගමන් කරයි. තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වශයෙන් අලි ඇතුන් ගමන් කිරීම විශේෂත්වයකි. ඊළඟට මාලිගාවේ රාජකාරිකාරයින් හේවිසිකාරයින් හා නැට්ටුවන් විසින් පිරිවරන ලද කාරිය කෝරාළ ගමන් ගනී.අනතුරුව ගමන් ගන්නේ දළදා කරඬුව හෙවත් රන් හිලිගේ රැගත් හස්ති රාජයායි. දෙපස තවත් හස්ති රාජයන් දෙදෙනෙකු විසින් පිරිවරන ලද මේ මහේශාඛ්‍ය හස්තිරාජයා මුළු පෙරහරේම සුවිශේෂි අංගය ලෙසින් සැලකිය හැකි ය. ඉන්පසු දළදා වහන්සේගේ ගිහි බාරකාරයා වන දියවඩන නිලමේ මුරායුධ, සේසත් වඩනා තල් අතු දරන්නන් හා ගම් දහයේ විදානේලා පිරිවරා පෙරහරේ ගමන් ගනී.දළදා පෙරහරින් අනතුරුව සතර දේවාලයන්හි පෙරහර ගමන් ගනී. මුලින්ම නාථ දේවාලයේ පෙරහර ගමන් ගන්නා අතර ඒ සෑම පෙරහරක්ම දළදා පෙරහරේ අනුපිළිවෙළට පෙළගස්වා තිබේ. මෙහි දී දේවාලයේ ඇතා විසින් දෙවියන්ගේ රන් ආයුධය වඩම්මවන අතර ඊට පිටුපසින් දේවාලයේ භාරකාරයා, වන බස්නායක නිලමේ ගමන් ගනී. පෙරහර අවසානයේ දී ධාතු කරඬුව අස්ගිරි මහා විහාරයට අයත් ආදාහන මළුවේ ගෙඩිගේ විහාරයෙහි තැම්පත් කරනු ලැබේ.දේවාල පෙරහර නැවත දේවාල වලට පැමිණීමෙන් අනතුරුව අලුයම දේවාලවල කපු මහත්වරුන් සමඟ දිය කැපීමේ මංගල්ලය සඳහා ගැටඹේ තොටට ගමන් කරයි. කඩු සහ කෙණ්ඩි රැගත් ආවතේවකාරයින් සිව් දෙනෙක් සමඟ ගඟට බසින දේවාලවල කපු මහත්වරු කඩුවෙන් ගඟ දියට පහර දෙති. එවිට ආවතේවකාරයෝ පෙර අවුරුද්දේ එක් කරගත් ජලය ඉවතට දමා කඩු පහර ගං දියට වැදුණු තැන ජලයෙන් කෙණ්ඩි පුරවා ගනිති. මේ කාර්යයෙන් පසු වතුර කෙණ්ඩි සහ කඩු රන්දෝළි වල තබා පෙරහරින් නගරයට පැමිණෙති. පසුව දළදා පෙරහර සමඟ දවල් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහර උත්සවය නිමාවට පත්වෙයි.පෙරහර අවසන් වූ වහාම දියවඩන නිලමේතුමා සහ සතර දේවාලවල බස්නායක නිලමේවරු පෙරහර සාර්ථකව අවසන් වූ බව ජනාධිපතිතුමාට දැන්වීමට මහනුවර ජනාධිපති මන්දිරයට යති. මෙම චාරිත‍්‍රය ඉංගී‍්‍රසි පාලන යුගයේ ආරම්භ වූවකි.පෙරහර සමය අවසන් වන්නේත් එක්තරා සාම්ප‍්‍රදායික මංගල්‍යයකිනි. එය ‘වලි යක් මංගල්ලේ නැතහොත් වලි යක් නැටුම යනුවෙන් හඳුන්වයි. සතියක් මුළුල්ලේ විෂ්ණු දේවාල භූමියේ පැවැත්වෙන මෙම උත්සවය සඳහා පෙරහරේ ගිය නිලමෙලා ඇතුළු සියලු දෙනාම සහභාගී වෙති. පෙරහර පැවැත්වීමේ දී කිසියම් අත් වැරැද්දක් නිසා දෙවි දේවතාවුන්ගේ සිත් රිදුනේ නම් ඊට සමාව ගැනීම ද ඇස්වහ කටවහ ආදී වස් දොස් ආදිය ඇතිවිණි නම් ඒවා දුරු කර ගැනීම ද මෙම මංගල්ලයේ අරමුණ වේ. වලි යක් මංගල්ලය අවසන් වීමෙත් සමඟම ඇසළ පෙරහර නිමාවට පත් වේ.

මංජුල දිසානායක

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife