නිවස ආගමික ආගමික වැලිගම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධ

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
වැලිගම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධ පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

වැලිගම කුෂ්ඨරාජගල  අවලොකිතේශ්වර බෝධිසත්ව පිළිමය

පැරණි බුදුපිළිම හා මුර්ති පිළිබඳ සඳහන් කරන විට පිහිටි ගලෙහිම නිර්මාණය කරන ලද බුදු පිළිම මෙන්ම වෙනත් මුර්ති ගැන ද දකින්නට ලැබේ. උදාහරණයක් ලෙසින් පොළොන්නරුවේ ගල් විහාරයෙහි ඇති බුදු පිළිම පිහිටි ගලෙහි ම නිර්මාණය කර ඇත. රැස් වෙහෙර හා අවුකන බුදු පිළිමද එසේමය. එහෙත් මාලිගාවිල මහ බුදු පිළිමය පිහිටි ගලෙහි නිර්මාණය කරන ලද්දක් නොවේ. එය වටේටම නෙළා ඇති නිසාය.මෙහි දැක්වෙන්නේ බෝධිසත්ව ප‍්‍රතිමාවකි. මෙම බෝධිසත්ව ප‍්‍රතිමාව අවලෝකිතේශ්වර බෝධිසත්ව ප‍්‍රතිමාවකි. මාලිගාවිල අසලම ඇති දඹේගොඩ පුද බිමෙහි ද පිළිමයක් දක්නට ලැබේ. එම පිළිමය ද පිහිටි ගලක නිර්මාණය කරන ලද්දක් නොවේ. වෙනම නෙළන ලද්දකි.වැලිගම ඇති පිළිමය ද පිහිටි ගලක ඇතුළතට කපා ඒ ගලෙහි උන්නත ලෙසින් මතුවන සේ නිර්මාණය කර ඇත. මේ බෝධිසත්ව පිළිමය ලංකාවේ ඉතාම ප‍්‍රකට වූ පිළිමයකි.මේ පිළිමයේ මකුටයෙහි (ශීර්ෂාභරණයෙහි) සමාධි බුද්ධ ප‍්‍රතිමා (ඉතා කුඩා) සතරක් නිර්මාණය කර ඇත. සිරසේ ඉදිරිපස ද එකකට එකක් උයින් සිටින සේ බුද්ධ රූප දෙකක් (සමාධි බුද්ධ පිළිම) නෙළා ඇත.

දෙපසින් ද සමාධි බුද්ධ රූප දෙකක් නිර්මාණ කර ඇත. ඔබ මේ බෝධිසත්ව පිළිමය නරඹද්දී මේ පිළිබඳව සමහර විට අවධානය යොමු නොකරන්නට ඇත. අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් හඳුනා ගැනීමට ඇති එක ලක්ෂණයක් නම් ජටා මකුටයෙහි (සිරසෙහි) සමාධි බුදු පිළිමයක් නෙළා තිබීමය. දඹේගොඩ ඇති (වැල්ලවාය) අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයෙහි ද සමාධි බුදු පිළිමයක් සිරසෙහි නිර්මාණය කර ඇත. එවැනි සමාධි බුදුපිළිම 4 ක් ම නෙළා ඇති අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය මෙම වැලිගම පිළිමය පමණකි.අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් වූ මෙහි දකුණු අත විතර්ක මුද්‍රාවෙන් ද, වම් අත ආහ්වන මුද්‍රව ද නිරූපණය කර තිබේ. ඉතා අලංකාර ධෝතියකින් යටි කය සරසා ඇත. මේ පිළිමයේ උඩු කය උදර බන්ධන ගෙලමාල, දෑත වළලු වලින් ද සරසා තිබේ. කර්ණාභරණ ද මෙහි නෙළා ඇත.මෙම අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයට කුෂ්ට රාජගල යන නාමය ව්‍යවහාර කරන්නේ කුමක් නිසාදැයි සොයා බලමු. කුෂ්ඨ රෝගය වැළඳුණ පැරණි රජ කෙනෙකු විසින් කුෂ්ඨ රෝගය සුවකර ගැනීීමට වූ පොරොන්දුවක් හෙවත් බාරයක් ඔප්පු කිරීම සඳහා මේ ප‍්‍රතිමාව නෙළා ඇති බව ජන ප‍්‍රවාදයේ එන කතා පුවතකි.දකුණු පළාතේ ගාල්ල – මාතර නගර දෙක අතර පිහිටා ඇති පැරණි වරායක් ලෙසින්්් වැලිගම ප‍්‍රකටය. මහ පාර අසල ඇති ස්වාභාවික ගල් පර්වතයක නෙළා ඇති මෙම ප‍්‍රතිමාව පිහිටි පුද බිම පැරණි කාලයේ දී අග‍්‍රබෝධි විහාරය යන නාමයෙන් ප‍්‍රකටය. මෙකල එම විහාරයත් මෙම පිළිමය පිහිටි බිමත් අද වෙන් වී ඇත්තේ දුම්රිය මාර්ගයක් සෑදීම සඳහාය.

ඒ නිසා මෙම පුද බිම පැරණි යුගයෙ දී එකම භූම ියකට අයත් වූයේය.පුරාණ වරායවල් අසල මෙවැනි අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිම වැඳුම් පිදුම් කිරීම සඳහා නිර්මාණය කර ඇති අන්දම ති‍්‍රකුණාමලයේ සිට සැතපුම් 29 ක් පමණ දුරින් පිහිටි තිරියායේ ගිරිහඬු වෙහෙර පිළිබඳ විමසා බලන විට ද පැහැදිලි වේ.පුරාණ නැවියන් සහ මුහුදු යාති‍්‍රකයින් (මුහුදේ නැව්වල ගමන් කරන්නන්) විසින් අදහන ලද මුහුදු දෙවියකු ලෙසින් ද අවලෝකිතේශ්වර බෝධිසත්වයින් හඳුන්වා දෙනු ලැබේ. මේ නිසාම බොහෝ පැරණි වරායවල් අසල අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිම වැඳීම දක්නට ලැබුණි.මෙකල කුදිරමලේ තුඩුව ප‍්‍රදේශයේ වූ පුරාණ තම්බපන්නි වරාය අසල තිබුණු පිළිම ගෙයක නටබුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන තිබේ.වැලගම කුෂ්ඨරාජගල පිළිමය ද මුහුණ ලා ඇත්තේ පැරණි වැලිගම වරායට ය. මාතොට (මාන්නය – මහාතිත්ථ) වරාය අසල ද මෙවැනි බෝධිසත්ව පිළිම ගෙයක් තිබුණු බවට නටබුන් හමු වී ඇත. මීට අමතරව රට තුළ ද අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිම හමු වී ඇත. සිතුල්පව්ව, යටාලය, මිහින්තලේ වැනි පුදබිම්වල ද මෙබඳු බෝධිසත්ව පිළිම හමු වී ඇත. වැල්ලවාය බුදුරුවගල ද අවලේකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් (අල්ප උන්නතව) නෙළා ඇත. තාරා දෙවඟනගේ රුවක් ද එහි නෙළා ඇත.

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 14 වෙනි සදුදා, 12:11
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife