නිවස ඓතිහාසික ඓතිහාසික කෝට්ටේ රජ මහ විහාරයේ බ්තුසිතුවම්

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
කෝට්ටේ රජ මහ විහාරයේ බ්තුසිතුවම් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

කෝට්ටේ රජ මහ විහාරයේ බ්තුසිතුවම්

කෝට්ටේ රාජධානිය ලංකා ඉතිහාසයේ අති විශිෂ්ඨ, එමෙන් ම ස්වර්ණමය අවදියක් ලෙසයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මෙම රාජධානියෙ රජකම් කළ මහරජතුමාණන් ලෙස සැලකෙන්නේ, සයවැනි ශ‍්‍රී පරාක‍්‍රමබාහු මහරජතුමාය. එතුමන් පනස් පස් වසරක් මුළුල්ලේ මුළු සිරිලක එක්සේසත් කරමින් පාලනය ගෙන ගිය බවයි මහාවංශයේ සඳහන් වෙන්නේ. මෙරට පහළොස්වන සියවස බැබළ වූ මහා පාලකයා වූ, සයවැනි ශ‍්‍රී පරාක‍්‍රමබාහු මහරජතුමාගේ කාලය සාහිත්‍ය, කලාව, ආගම වගේම රටේ ආර්ථික සෞභාග්‍යයක් ද පැවති කාලයක වුණා.ලක්දිව රජ පැමිණි සෑම සිංහල රජ කෙනෙක් ම බොහෝ සෙයින් ම වැවයි දාගැබයි යන සංකල්පය පෙරදැරි කරගෙන රට පාලනය කළා. සයවැනි ශ‍්‍රී පරාක‍්‍රමබාහු රජතුමාත් එසේමයි. ඒ නිසාම මෙම රජතුමාගේ කාලයෙත්, සිරිලක යහපත් ගුණ වගාවෙන් පොහොසත්, දැහැමි සමාජයක් බිහි වී තිබුණා. එවන් උත්තරීතර පාලනයක් පැවැති කෝට්ටේ රාජධානිය වර්ෂ 1505 දී මෙරට ආක‍්‍රමණය කළ පෘතුගීසීන් එම සෞභාග්‍යය හා ශ‍්‍රී විභූතිය සමූල ඝාතනය කරනු ලැබුවේ අපේ උරුමයන් ද වනසාලමින්.එසේ විනාශයට පත් කෙරුණු අපේ ඉපැරණි ශ‍්‍රී ජයවර්ධන පුර කෝට්ටේ ඉතා හොඳ ශාසනික පසුබිමකුයි පැවතුණේ. සයවැනි පරාක‍්‍රමබාහු මහරජාණෝ ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයකු වගේ ම මහා සංඝ රත්නයට අෂ්ට පරිෂ්කාර සහිත මහ දන් පිළිගැන්වීම සිදු කළා. නිරන්තරයෙන් ම ධාතු පුජාදිය පවත්වනු ලැබුවා. ධර්ම පුස්තකයන් දවසක් පාසා ලියනු පිණිස ලිපිකරුවන්හට උපදෙස් දෙනු ලැබුවා.ඉතා දියුණු තත්ත්වයක තිබූ කෑරගල පද්මාවතී පිරිවෙනත්, තොටගමුවේ විජයබා පිරිවෙනත් පිහිටුවා ආගමික වගේම සාහිත්‍ය දියුණුවක් ඇති කිරීමට කටයුතු කළා. ති‍්‍රපිටකයෙන් මසකට ග‍්‍රන්ථ එක් දහස් පන්සියයක් ලියන්නත් කටයුතු කළ බව සද්ධර්ම රත්නාකරය නමැති පොතේ සඳහන් වෙනවා. මේ ආකාරයට ආගමික ශාසනික සේවාවන් ඉටු කළ සවැනි ශ‍්‍රී පරාක‍්‍රමබාහු මහරජතුමා තවත් විශාල දැහැමි සේවාවක නිරත වුණා. ඒ අතර විහාර කර්මාන්තය ප‍්‍රධාන වෙනවා.

ඔහු ගේ රාජ්‍ය කාලයේ ඉදි කරනු ලැබූ සුවිශාල විහාරස්ථානය ලෙස සලකනු ලබන්නේ, රජ මාළිගාවට ආසන්නව ඉදි කොට තිබෙන කෝට්ටේ රජ මහා විහාරයයි. දුවේ, පුතේ, කෝට්ටේ රජ මහා විහාරයේ සුවිශේෂත්වයක් තිබෙනවා. මෙම විහාරස්ථානය තමයි එකල ප‍්‍රධාන ආගමික මධ්‍යස්ථානය වුණේ. ඒ කියන්නෙ, කොට්ටේ යුගයේ වැඩ සිටි මහා සංඝයා වහන්සෙලා හට නීතියෙන් ඇප උපස්ථාන කළ බවත්, එමගින් මුළු ලංකාද්වීපයේම ශාසනයේ අභිවෘද්ධිය ඇතිකරලීම සඳහා මෙම විහාරස්ථානය මූලස්ථානය ලෙසත් යොදා ගත් බවයි ශාසන ඉතිහාසයේ ලියැවී තිබෙන්නේ.මෙම රජ මහා විහාරය පිහිට තිබෙන්නේ, බස්නාහිර පළාතේ, කොළඹ දිස්ති‍්‍රක්කයේ, සල්පිටි කෝරළයේ, පල්ලේ පත්තුවේ, පිට කෝට්ටේ නම් ග‍්‍රාමයේය. පුංචි ඔබ මෙම විහාරස්ථානයට ගමන් කළ යුත්තේ කොළඹට පැමිණීමෙන් පසුවයි. එතැන දී කොළඹ මහ බොරැල්ල හංදියේ සිට නුගේගොඩ පාරේ සැතපුම් 6 ක් ගෙවා ගිය තැන පිටකෝට්ටේ මංසන්ධිය හමුවෙයි. එතැන තිබෙන බස් නැවතුම් පොළ පසුකර ගෙන බඹ කීපයක් ඉදිරියට ගමන් කළ විට වම් පසින් ඔබට හමුවන්නේ කොට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලීය විදුහල් භූමියයි. එම පාරේ සැතපුම් 1/4 ක් පමණ ගමන් කළ පසු මෙකී විහාරස්ථානය හමු වෙනවා. පුංචි ඔබ “මහා විහාර මාවත” නමින් හඳුන්වනු ලබන මාර්ගයේ ගමන් කරන්නේ නම් මෙම විහාරස්ථානයට ළඟාවීමට තවත් පහසු වෙනවා.පුංචි ඔබට දැක ගත හැකි මෙම විහාරසථානය පෘතුගීසීන්ගේ ආක‍්‍රමණයන්ගෙන් එකල විනාශයට පත් වී තිබුණා. පසු කලෙක මෙරට ආගමික පුණර්ජීවනයක් ඇති කළ වැලිවිට ශ‍්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමියන්ගේ සිසු පරපුරෙන් මතු වූ මිණි පහනක් බඳු පුජ්‍ය වලානේ බුද්ධරක්ඛිත හිමිපාණෝ මෙම විහාරස්ථානයට පැමිණ කැලය එළිපෙහෙළි කොට ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලැබුවා.උන්වහන්සේ වල්බිහි වී තිබුණු රාජමහා විහාරය අසල පොල් අතු පැලක් තනාගෙන ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ ස්ථානයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළා.

 මේ අතර තුර ප‍්‍රදේශයේ ආගමික හා සමාජයීය සේවාවන් ද ආරම්භ කරනු ලැබූ උන්වහන්සේ කෝට්ටේ සිට මරදාන දක්වා පා ගමනින්ම පිණ්ඩපාතයේ වැඩම කළා. වරක් මරදානේ පින්වතුන් කිහිප දෙනෙක් උන්වහන්සේගේ ලැගුම් ගෙට අවශ්‍ය දොරක් පරිත්‍යාග කරනු ලැබූ අතර, එය උන්වහන්සේ විසින්ම තම හිස මත තබාගෙන ආ බවයි පොත පතේ සඳහන් වෙන්නේ. මේ අයුරින් ඉතාමත් දුෂ්කර කාර්යක යෙදුණ උන්වහන්සේ වන සතුන්ගේ බාධක මැද මෙම ස්ථානයේ දියුණුවට කටයුතු කරනු ලැබුවා.පළමුවෙන්ම දාගැබ ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර ඉන් පසුව ලැගුම් ගෙවල් ආදිය සකස් කරගනු ලැබුවා. තෙවනුව පිළිම ගෙය සෑදීමේ කටයුතු ආරම්භ කළා. පුංචි ඔබ මෙම විහාරයේ සිතුවම් හා බුදු පිළිමය නරඹන විට ඒ අතර ඉංග‍්‍රීසි රාජ්‍ය ලංඡනයත්, වික්ටෝරියා රැජිනගේ රූපයත් ඇඳ තිබෙනු දක්නට ලැබෙයි. එයින් පැහැදිලි වෙන්නේ ඒවා බි‍්‍රතාන්‍ය යුගයේ දී කරවන ලද බවයි.දැන් ඔබ මෙම විහාර ගෙයත් සමග එහි ඉදිරිපසින් තනවා ඇති දේවාල මොහොතක් නරඹන්න. විෂ්ණු දෙවාලයත්, කතරගම දේවාලයත් ඒ අතර තිබෙනු ඔබට දැක ගත හැකි වෛයි. එම දේවාලයන්හි බිතු සිතුවම් හොඳින් නිරීක්ෂණය කළ විට ඔබට පෙනේවි ඒවා ද ලන්දේසි පාලනය අවසානයේ දී හෝ බි‍්‍රතාන්‍ය පාලන යුගයේ මුල් සමයේ දී ශිල්පීන් විසින් කරන ලද ඒවා බවයි. බිතු සිතුවම්වල තිබෙන ඇඳුම් පැළඳුම් බොහො දුරට සමාන වනුයේ බි‍්‍රතාන්‍ය පාලන සමයේ පැවති ඇඳුම්වලටයි. මේ අනුව බලන විට මෙම විහාරයේත්, දේවාල තුළ තිබෙන බිතු සිතුවම් සියල්ලත් ශත වර්ෂ එකහමාරකටත් පෙර දී කරවන ලද ඒවා බව පැහැදිලි වෙනවා.

විහාර මන්දිරයවිහාර මන්දිරයේ ඇතුළු මාලයපුංචි ඔබගේත්, මගෙත්, සිත් තුළ ශ‍්‍රද්ධා භක්තිය ඇතිවීමටත්, එය වැඩි වැඩියෙන් ඇති කිරීමටත් සමත් වෙන දහ අට රියන් සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ඇතුළු මාලයේ දී ප‍්‍රථමයෙන් දිස් වෙනවා. ඉතාමත් විශිෂ්ඨ ආකාරයකින් නෙළා ඇති මෙම ප‍්‍රතිමාවේ සිරස් පතක් දැක ගත හැකි අතර, ප‍්‍රභා මණ්ඩලය පාදන්තය තෙක් විහිදී යනවා.මහනුවර යුගයේ ප‍්‍රතිමාවල තිබෙන කලා ලක්ෂණ අනුව යමින් රැළි සහිත සිවුර නිරූපණය කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ මහා පෞරුෂත්වය පිළිබිඹු වන ආකාරය මෙම ප‍්‍රතිමා වහන්සේගෙන් දක්වා තිබෙනවා.ප‍්‍රධාන ප‍්‍රතිමා වහන්සේගේ හිස පෙදෙසින් හිටි බුදු පිළිම වහන්සේ දෙනමක් වැඩ හිඳීනවා. එම පිළිමවල ද ප‍්‍රභා මණ්ඩලය හිස සිට පාදාන්තය දක්වා පිහිටා තිබෙනවා. විතර්ක මුද්‍රාවෙන් යුක්ත වන සැරියුත්, මුගලන් අගසව් දෙනමගේ රූපය දෙපස දක්වා තිබෙනවා. ප‍්‍රධාන සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේ පාමුළ එක් පසෙකින් හිටි බුදු පිළිම වහන්සේ නමක් වැඩ හිඳිනවා. ඒ අසල තිබෙන්නේ ශ‍්‍රී විෂ්ණු මහා දිව්‍යරාජයන්ගේ ප‍්‍රතිමාවයි.මෙම සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වැඩ හිඳින ඇතුළු මාලයේ බිත්තිවල ශ‍්‍රාවක රූපත්, නෙළුම් මල් මෝස්තරත් දක්නට ලැබෙනවා. ඒ අතර සීලිමේ තිබෙන නෙළුම් මල් මෝස්තර අලංකාරත්වයෙන් ඉතාමත් ඉහළයි. හැබැයි, එම නෙළුම් මල් මෝස්තරත්, ප‍්‍රතිමාවන් සියල්ලත් අයත් වෙන්නේ නූතන සම්ප‍්‍රදායටයි. ඒ බව ඔබ හොඳින් අවබෝධ කර ගත යුතුයි.ඇතුළු මාලයට ඇතුළුවීම සඳහා තනි කළු ගල් වලින් නෙළන ලද යෝධ උළුවහු දෙකක් ඔබට දැක ගැනීමට පුළුවන්. පිට මාලයේ සිට ඇතුළු මාලයට ඇතුළුවීමට ඇති මෙම උළුවහු දෙක ඉහළින් විශාල මකර තොරණ දෙකක් පිහිටා තිබෙනවා. ඉතාමත් අලංකාර මෙම කලාකෘතිය ඇතුළත සිංහ මුඛය ද, කිහිඹි මුහුණ ද දැකගත හැකිටි. එයින් දෙපසට විහිදී යන මල්ලියකම් අතර තිබෙන විචිත‍්‍ර පත‍්‍ර දෙකේ තිබෙන වෙනස හොඳින් හඳුනා ගන්න. පළමුවෙනි මකර තොරණේ තිබෙන මකර රූපය අවට දේව රූප දෙකක් ද, දෙවන මකර තොරණේ මකර රූපය අට විශ්ව කර්ම රූප දෙකක් ද නිර්මාණය කර තිබෙනු හොඳින් නිරීක්ෂණය කර බලන්න.

දැන් ඔබ මෙම කළු ගලින් නෙළන ලද දොරටු දෙපස ඇති දොරටුපාල රූප දෙස බලන්න. එම ස්ථානවල දොරටුපාල රූප දෙකක් ද, වම් පසින් කඟවේණා රූප දෙකක් ද, දකුණු පසින් සිංහ රූප දෙකක් ද දැක්වෙන ආාකරයට අල්ප උන්නතව කැටයම් කර තිබෙනවා. ඇතුළු මාලයට ඇතුළුවීම සඳහා තිබෙන දොරටු දෙක අතර හරි මැදින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේගේ රූපය ඉතාමත් විචිත‍්‍ර අන්දමින් මුර්තිමත් කර තිබෙන්නේ ඔබෙත් මගේත් භක්තිය ඇති කරවන ආකාරයටයි. මේ සියළු දෑ නරඹමින් යන අතර තවත් එක් සුවිශේෂ චිත‍්‍ර සටහනක් දෙස ඔබගේ දෑස යොමු කරන්නට අමතක කරන්නට එපා. මෙම උළුවහු දෙක අතර තිබෙන වම් උළුවස්ස මුදුනත ඇති චිත‍්‍රය බලන්න. එහි තිබෙන්නේ “ජයවර්ධන කෝට්ටේ ජයවර්ධන මහා විහාරය” යනුවෙන් ඉංග‍්‍රීසි කැපිටල් අතුරින් ලියා ඇති ලාංඡනයයි. එය ඔසවාගෙන සිටින්නේ මිනිස් රූප දෙකක් විසිනුයි. එම මිනිස් රූප දෙකේ එක අතක ඉංග‍්‍රීසි කොඩිය බැගින් රඳවා තිබෙනවා.දැන් ඔබ දකුණු පස තිබෙන උළුවස්ස මුදුනත බලන්න. එහි තිබෙන්නේ වික්ටෝරියා මහ රැජිනගේ රූපය ඇතුළත් කොට තිබෙන ලාංඡනයයි. එය ඔසවාගෙන සිටින්නේ සිංහයන් දෙදෙනෙකු විසිනුයි. වික්ටෝරියා රැජිනගේ දක්වා තිබෙන්නේ උඩුකය පමණයි. හිස් වැසුමක් පැළඳ සිටින ඇය වේලයකින් උඩු කය සරසා ගෙන අතින් මලක් ගෙන සිටිනවා. මෙම රූපය, මුහුදු රළ මත සිත්තම් කිරීමෙන් පෙනී යන්නේ එදා සිත්තරා විසින් ඇය එතෙර සිටිමින් මෙරට පාලනය කළ බව පෙන්නුම් කිරීමට උත්සාහ ගෙන ඇති බවයි. එම ලාංඡනය දෙපස සමමිතික ලෙස විහිදී යන කලාත්මක ලියවැල් දෙකක් දක්වා තිබෙනවා. මෙසේ සමමිතිකව බෙදා ගෙන සිතුවම් ඇඳ තිබීම මෙම විහාර ගෙය පුරාම දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් බව ඔබට පෙනේවි. (සමමිතිකව දෙපස බෙදි යන ආකාරයට සිතුවම් ඇඳ තිබෙන ආකාරය හොඳින් බලන්න.) ඒ අනුව බලන විට චිත‍්‍ර ශිල්පියාගේ තිබූ නිපුණතාවය පුංචි ඔබට වැටහේවි.ඉතාමත් වැඩි කාලයක් නොගොස් තිබුණ ද මෙ සිතුවම්වල ඇති වර්ණ (සායම්) ගැලවී යන බවක් පෙනෙන්නට තිබෙනවා. එයට හේතුව එම ශිල්ප ක‍්‍රමයේ අඩුවක් මිස යොදා ගෙන තිබෙන සායම්වල ඇති දෝසයක් නොවෙයි. ප‍්‍රධාන වශයෙන් චිත‍්‍ර ඇඳීමේ ද පෙ‍්‍රස්කෝ සීකෝ යන ශිල්පීය ක‍්‍රමය (වියළි බදාම මත සිතුවම් ඇඳීම) යොදා ගෙන තිබෙනවා.

විහාර මන්දිරයෙහි පිට මාලයවිහාර ගෙයි ආලින්දයේ ඉඳල විහාර විහාර මන්දිරයේ පිට මාලයට ඇතුළු වන්නට ප‍්‍රධාන දොරටු දෙකක් තිබෙනවා. එය ද යෝධ ගල් උළුවහු දෙකකින් සමන්විත වෙනවා. පිට මාලයේ තිබෙන බිත්තිවල උස අඩි 40 ක් පමණ වන අතර ඇඳ තිබෙන සිතුවම් සියල්ල සම්පූර්ණයෙන් දහනව වැනි සියවස මුල් යුගයට අයත් වෙතැයි කලා විචාරයික් මත පළ කරනවා. පිට මාලයේ ඇති බිත්ති හතර මනහර සිතුවම් වලින් අලංකාරවත් කර තිබෙන අතර, චිත‍්‍ර ශිල්පියා සෑම ඉඩක් ම ප‍්‍රයෝජනයට ගනිමින් තීරුවලට කොටස්කර ගනිමින් සිතුවම් ඇඳ තිබෙන ආකාරයත් දක ගැනීමට පුළුවන්. ජාතත පොතේ විශාල පිටු ගණනකින් කියවෙන කතා ප‍්‍රවෘත්තියක් මෙම චිත‍්‍ර ශිල්පියා විසින් ඉතා සීමිත ඉඩක් ප‍්‍රයෝජනයට ගනිමින් චිත‍්‍රයට නඟා තිබෙනවා.පිට මාලයේ සියලුම බිත්ති තීරු හතරකට බෙදා ගෙන චිත‍්‍ර ඇඳ තිබෙනවා. ඉහළම තීරු දෙකේ ඇඳ තිබෙන්නේ රහතන් වහන්සේලා මල් අතින් ගෙන සිටින ආකාරයයි. තුන්වන පේළියේ ඇඳ තිබෙන්නේ සොළොස්මස්ථානවල රූප පෙළයි. එම සිතුවම් අතර මහියංගන චෛත්‍යයේ මුල ස්වරූපය ඇඳ තිබෙන ආකාරයත්, එය පසු කලෙක ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු දිස්වෙන ආකාරයත් දක්වා තිබෙනවා. තවත් වැදගත් චිත‍්‍රයක් මේ අතර දැක ගන්නට පුළුවන්. එනම් චිත‍්‍ර ශිල්පියා විසින් ශ‍්‍රීපාද කන්ද සංකේතවත් කර තිබෙන සිතුවමයි. එහි දී ශ‍්‍රී පාද කන්ද බුදුන් වහන්සේගේ ශ‍්‍රී පතුල පමණක් දැක්වීමෙන් සිතුවම් කර තිබෙනවා. ඒ වගේම විහාරයේ සිතුවම්වල පසුබිම දැක්වීමේ දී ඇඳ තිබෙන රටා මෝස්තරවල ද ඒකාකාරී බවකුයි දැක ගැනීමට හැකි වෙන්නේ.ඒ අතර චිත‍්‍ර ශිල්පියා තුන්වෙනි තීරුව කාලීන වශයෙන් වැදගත් වන ජාතික කතා කිහිපයක් සිතුවම් කිරීම සඳහා ඉඩ වෙන් කිරීමට ද අමතක කළේ නැහැ. මුලින් ම දේවධර්ම ජාතකයත්, අනතුරුව මනිචෝර ජාතකයත්, සිතුවම්කර තිබෙනවා. ඉතා අඩු ඉඩකින් පුළුල් අදහසක් ඉදිරිපත් කෙරෙන මෙහි එකල මුළුතැන් ගෙයක ස්වරූපය ඉතා කදිමට නිරූපණය කරනවා. එයින් පසුව චුල්ල පදුම ජාතකයත්, ක්ෂාන්තිවාදී ජාතක කතාවත් නිරූපණය කර තිබෙනු ඔබට දැක ගත හැකි වෙයි.

මෙම සිතුවම්වල දී ගස් වැල් මෙන් ම පක්ෂීන් නිරූපණය කිරීමත් දක්නට ලැබෙනවා. එම අවදියේ සමාජයේ භාවිතා කරනු ලැබූ අශ්ව කරත්ත ඒවා සැරසුම් කර තිබූූ මෝස්තර රටා ද මෙම සිතුවම නැරඹීම තුළින් ඔබට පැහැදිලි කර ගැනීමට පුළුවන්. ඒ හැර දෙමහල් උස් ප‍්‍රාසාදයන් වගේම ගැමි ජීවිතයේ සුන්දර දසුන් ද මෙම සිතුවම් වලින් විස්තරාත්මකව දැන ගැනීමට පුළුවන්. බිතු සිතුවම් අතර තවත් සුවිශේෂී සිතුවමක් දැක ගැනීමට හැක්කේ ධර්මපාල ජාතක කතාව ඇඳ තිබෙන චිත‍්‍රාවලිය තුළයි. එහි විශේෂය නම් වධකයා නිරූපණය කිරීමට දුඹුරුවන් අඳුරු පැහැය යොදා ගෙන තිබීමයි.සිතුවම්වල තිබෙන පිරිමි රූප බොහො වට උඩු කය ඇඳුම් වලින් තොරව දක්වනු ලැබුවා. ස්තී‍්‍ර රූප, රජවරුන්ගේ රූප, බිසෝවරුන්ගේ රූප සිතුවම් කිරීමේ දි විසිතුරු ඇඳුම්, පැළඳුම් ඒ සඳහා අඳිනු ලැබුවා. ඒ වගේම යකුන්ගේ රූප, අපාය වැනි සද්ධි දැක්වීම සදහා අඳුරු වර්ණ යොදා ගෙන තිබීමත් මෙම සිතුවම්වල තිබෙන තවත් සුවිශේෂී තත්ත්වයක් වෙනවා.මෙම සිතුවම් නරඹමින් යන ඔබ ධර්මපාල ජාතක කතාවේ ම තවත් එක් අවස්ථාවක් ඇඳ තිබෙන ආකාරය දෙස ඉතා කල්පනාකාරීව බලන්න. එහි ධර්මපාල කුමාරයා හට මව් බිසව කිරි පොවන ආකාරය දක්වෙන සිතුවම ඉතා වැදගත් සිතුවමක් ලෙසයි පෙරදිග චිත‍්‍ර කලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මෙය ඉතා දුර්ලභ ගණයේ චිත‍්‍රයක් වෙනවා. මව් බිසව කවිච්චියක් මත වාඩි වී ධර්මපාල කුමාරයා හට කිරි පොවන චිත‍්‍ර රාමුවක් අන් කිසිම විහාරයක සිතුවම් අතර හමුවෙන්නේ නැහැ. ධර්මපාල කුමරුන්හට වධ හිංසා පමුණුවන අවස්ථාවේ දී දේවිය වැළපෙන අවස්ථාව අතිශයින්ම ශෝකාකුල බවවකින් ඇඳ තිබීම නිසා. සැබවින්ම එම චිත‍්‍ර සස් ඝණයේ සිතුවම් ලෙස පිළිගැනෙනවා.මෙම චිත‍්‍රාවලිය අතරේ දන් දීමේ අනුසස් කියාපාන තවත් ජාතක කතාවක් සිතුවම් කර තිබෙනු ඔබට හමු වෙයි. එය බදිරඟාර ජාතක කතාවයි. මෙම චිත‍්‍ර තිරුවේ පසුබිමට රක්ත වර්ණ යෙදීම නිසා සිතුවමට ආලෝකයක් ලැබී තිබෙනවා. මෙම ගෙවල්වල ඇතුළත දර්ශන තරමක් අඳුරු පැහැයෙන් වර්ණ ගැන්වීමක් කර තිබෙනවා. පක්ෂීන්, මල් මෝස්තර වැනි දේ යෙදීම තුළින් පසුබිමේ තිබෙන හිස් බව එතරම් අපට දැනෙන්නේ නැහැ. චිත‍්‍රාවලියේ ම ඇඳ තිබෙන ගෘහයන්ගේ පෙන්වා ඇත්තේ ඉදිරිපස දර්ශන පමණයි. ඉංග‍්‍රීසි පාලන සමයේ මෙරට භාවිත වූ ලාම්පුවක් ඇඳ තිබෙන ගෘහයන්ගේ බිත්තියේ එල්ලා තිබෙනවා. මෙය සම්ප‍්‍රදයට අනුවම පිළිවෙලින් සවි ජාතකය, සීලව ජාතක කතා වස්තුන් ද සවිස්තරාත්මකව ඇඳ තිබෙන ආකාරය ඔබට දැක ගැනීමට පිළිවන් වේවි.සියලුම චිත‍්‍රාවලියන් අඛණ්ඩ කථන මාර්ගයෙන් චිත‍්‍රයට නගා තිබෙනවා. දර්ශන වෙන් කිරීමක් නොමැති මෙහි චිත‍්‍ර සම්ප‍්‍රදාය මහනුවර යුගයේ චිත‍්‍ර සම්ප‍්‍රදායේ චිත‍්‍ර ලක්ෂණ ද ඇතැම් තැනක දී දැක ගන්නට පුළුවන්. උදාහරණයක් ලෙස චිත‍්‍රාවලිය තුළ සීලව නාග ජාතක කතාවේ එන ඇතා නිරූපණය කර තිබෙන ආකාරය නරඹන්න. හැබැයි නුවර චිත‍්‍ර සම්ප‍්‍රදායේ නොමැති අධ්‍යයනය කළ යුතු බොහෝ ලක්ෂණ මේ සිතුවම් අතර තිබෙනවා. කෝට්ටේ රජමහා විහාරයේ චිත‍්‍ර ශිල්පියා බොහෝ සෙයින් වනාන්තර ඇඳීමේදීත් ගස්වැල් ඇඳීමේදීත් බිතු සිතුවම් තුළ විශේෂ තැනක් දී තිබෙනවා. නමුත් වනාන්තර සංකේතවත් කිරීමේ දි මුලින් තිබූූ අවබෝධය අවසානයේ ක‍්‍රමයෙන් හීන වී ගොස් තිබෙන බවයි ඇතැම් කලා විචාරකයින් පෙන්වා දෙන්නේ. පිටත මාලයේ ප‍්‍රධාන බිත්තිය හැරුණු විට අනෙකුත් බිත්තිවල ඇඳ තිබෙන්නේ ජාතක කතාවන්වල එන සිදුවීම්ය.

බැලූ බැල්මට මෙම චිත‍්‍ර මහනුවර චිත‍්‍ර සම්ප‍්‍රදාය මෙන් පෙනුණ ද සමස්තයක් වශයෙන් ගත් කල කෝට්ටේ රජමහා විහාරයේ චිත‍්‍ර අයත් වෙන්නේ පහත රට චිත‍්‍ර සම්ප‍්‍රදායටයි. ඒ අනුව බලන විට උඩරට චිත‍්‍ර සම්ප‍්‍රදායට වඩා මෙහි චිත‍්‍ර තීරු පළල්ය. චිත‍්‍රවල මානව රූප උස් කොට දක්වයි. රූපවල පරිමාණ ලක්ෂණ හීන් වන අතර ගස් වැල් ඇඳීමේ දී උඩරට චිත‍්‍ර සම්ප‍්‍රදාය මෙන් දක්ෂතා පෙන්වා නැහැ. රේඛා කරණයත්, වර්ණ ගැන්වීමත් අතින් වුවත් එසේමයි. දැන් ඔබ මෙහි උඩ සීලිමේ තිබෙන චිත‍්‍ර දෙස මොහොතක් බලන්න. එහි තිබෙනවා රාශි දොළස සිතුවම් කරලා. එක් පැත්තක් සමාන කොටස් හයකට බෙදලා නෙළුම් මල් මෝස්තර වලිනුත්, ලියවැල් මෝස්තර වලිනුත් මෙම චිත‍්‍රය අලංකාර කර තිබෙනවා. ඒවාට ද පැහැති කොළ පාටත් රක්ත වර්ණයත් යොදා ගෙන තිබෙන අතර කහ වර්ණය ද තැනින් තැන දක්නට ලැබෙනවා.හැබැයි මෙම චිත‍්‍ර අධ්‍යයනය කරන විට ඔබට තවත් කරුණු බොහෝ ගණනක් අනාවරණය වෙයි. ඒ අතරින් සිතුවම්වල සමබරතාවය, වර්ණ භාවිතය, කළු බාහිර රේඛාව යොදා ගෙන තිබෙන අයුරු, ශිල්පියා සැරසිලිවලට මුල් තැක් දී තිබෙන ආකාරය, ඇඳුම්වල මෝස්තර, වැනි දෑ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නටත් අමතක කරන්න එපා. මෙම රජ මහා විහාරයෙ තිබෙන සිතුවම් තව දුරටත් අධ්‍යයනය කරන විට ඒ හා සමානකම් දක්වන චිත‍්‍ර තිබෙන තවත් විහාර කිහිපයක් අපට අටින් හමුවෙනවා. තොටගමුවේ තෙල්වත්ත පුරාණ රජමහා විහාරයේ තිබෙන සිතුවම්, කැලණිය රජමහා විහාරය පැරණි විහාර ගෙයි තිබෙන සිතුවම්, මෙම චිත‍්‍රවලට සමානකම් දක්වනවා. ඒ හැර මහරගම ගොඩිගමුවේ ශ‍්‍රී විපශ්‍යාරාම විහාරයේ බිතු සිතුවම් ද මෙම චිත‍්‍රවලට සමානයි.කෝට්ටේ රාජ මහා විහාරයේ තිබෙන බිතු සිතුවම් නරඹන පුංචි ඔබ තවත් විශේෂ කරුණක් සිතේ තබා ගත යුතුමය. එනම් මෙම විහාරයට ආවේණික වෙලා තියෙන චිත‍්‍ර ශෛලිය හඳුන්වන්නේ කුමන නමකින්ද කියල. මේ සම්බන්ධයෙන් චිත‍්‍ර කලා විචරකයින් බොහෝ පර්යේෂණ කරලා එක්තරා නමක් යෝජනා කරලා තියෙනවා. එය නමින් දඹදිව අමරාවතී සම්ප‍්‍රදාය  බවයි සඳහන් වෙන්නේ.

ලලිත් ඇත්තලපිටිය

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife