නිවස ආගමික ආගමික යාපනයේ කදුරුගොඩ නටබුන්

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
යාපනයේ කදුරුගොඩ නටබුන් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

යාපනයේ කදුරුගොඩ නටබුන්

යාපනය නගර මධ්‍යයට පැමිණි අපගේ අරමුණ වූයේ එහි සිටි කි.මී 10ක දුරකින් පිහිටි කන්තරෝඩෙයි වෙත යාම ය. යාපනයට පැමිණෙන බහුතරයක් දෙනාගේ ප‍්‍රධාන අභිලාෂයක් වන්නේ නාගදීප දූපතට ගොස් ඒ විහාරය වැඳපුදා ගැනීම ය. එහෙත් පුරාවිද්‍යාත්මක වශයෙන් යාපනය අර්ධද්වීපයේ පිහිටි වැදගත්ම ස්ථානය වන්නේ කන්තරෝඩෙයි හෙවත් පුරාණ කදුරුගොඩ විහාරය යි.අපගේ වෑන් රථය යාපනයේ උණුසුම කපාගෙන ඉදිරියට ඇදේ. නගරයේ උණුසුමත් ක‍්‍රමයෙන් බැහැරවෙමින් ගම්මාන හරහා මාර්ගය ඇදී යයි. අහස්කුස වසා ඉහළට ගොස් වියනක් සේ පිහිටි තල් රුප්පාව නිසා ගිනියම තුනී වී ගොසිනි. නිවාසවල වැටද තල්කොළවලින් ම සකසා තිබේ. ඒ යාපනයට ආවේණික වූවකි. තැනින් තැන හමුවන විනාශ වී ගිය ගොඩනැගිලිවල නටඹුන් යුද්ධයේ ක‍්‍රෑරත්වය පවසයි. තවමත් මේ ගොඩනැගිලි බොහොමයක් නිවැසියන්ගෙන් තොර ය.කදුරුගොඩ, නාගරික ලක්ෂණ නොමැති පිටිසර ගම්මානයක් වැන ්න. සතරදෙසින්ම ඉහළ නැගී සිටින්නේ පොල්ගස් ය. ඒ අතර නිවාස සහිත ගෙවතු ය. මේ ප‍්‍රදේශයේ එතරම් ජනගහනයක් සිටින බවක් නොපෙනේ.

පසුගිය සමයෙ සිදුවු යුද්ධයෙන් නාග විහාරය, යාපනේ ඕලන්ද කොටුව වැනි ස්ථාන විනාශ වුවද කදුරුගොඩ පුදබිමට කිසිදු හානියක්සිදු වී නොමැතිවීම වාසනාවකි.මහනුවර යුගයේ ලියැවුණු විහාර හා පුදබිම් නාමාවලියක් වන ‘නම්පොත හෙවත් විහාර අස්නෙහි’ ‘කදුරුගොඩ විහාරය’ ලෙසින් මේ පුදබිම හැඳින්වේ. මෙම භූමියේ පුරාවිද්‍යාත්මක වැදගත්කම මුලින්්ම අවබෝධ කර ගත්තේ මේ සියවසේ මුල් ධූරය දැරූ ආචාර්ය පෝල් ඊ. පීීරිස් මහතා ය. ඔහු මෙම භූමිය සහ අවට පරික්ෂා කර බලා රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවට ‘නාගදීපය සහ යාපනයේ බෞද්ධ අවශේෂ’ නමින් 1917 - 1919 වර්ෂවල ලිපි සැපයී ය. පසුව කදුරුගොඩ අක්කර 3 පර්චස් 33.8 ක් පුරාවිද්‍යා තහනම් ඉඩමක් වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරිණි. උඩුවිල් කන්තරෝඩේ පාර දෙපැත්තේම මෙම ඉඩම පිහිටා තිබේ. කෙසේ වුවත් පුරාවිද්‍යා නටබුන් එයට වැඩිභූමි ප‍්‍රමාණයක පැතිරී තිබෙන බව පැහැදිලි ය. රජයට අයත් කරගෙන ඇත්තේ ඉන් සුළු භූමි ප‍්‍රමාණයක් පමණි.

වර්ෂ 1915 - 17 පෝල් ඊපීරිස් මෙම භූමියේ කැණීමක් කර බෞද්ධ නෂ්ටාවශේෂ කොටස් සොයා ඒවා යාපනය කෞතුකාගාරයට බාර දී ඇත. එකල බුද්ධ ප‍්‍රතිමා දාගැබ් කොත් ආදිය ලැබුණු බව වාර්තා වී තිබේ. කි‍්‍ර.ව. දෙවන සියවසට අයත් යාපනයේ වල්ලිපුරම් රන්පත් ලිපියෙන් පැහැදිලි වන්නේ එකල යාපනය අර්ධද්වීපයම ‘නකදිව‘ (නාගදීපය) නමින් හැඳින් වූ බෞද්ධයන් සිටි ප‍්‍රදේශ බව ය. කි‍්‍ර.ව. 10වන සියවසට අයත් තුනුකායිටැම් ලිපියෙන් ද ඒ බව සනාථ වේ. කදුරුගොඩ විහාරය අනුරාධපුර පොළොන්නරු යුගවල දී පැවති සිද්ධස්ථානයක් බවට අනුමාන කළ හැකි ය.මෙහි 1965 - 67 වර්ෂවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැණීම් කරන ලදී. එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ ඒ සඳහා දැඩි උනන්දුවක් දැක්වූ බව පුරාවිද්‍යා පාලන වාර්තා විමර්ශනය කරන විට පෙනේ. ආචාර්ය ගොඩකුඹුරේ ඒ සඳහා දැඩි උනන්දුවක් දැක් වූ බව පුරාවිද්‍යා පාලන වාර්තා විමර්ශනය කරන විට පෙනේ. ආචාර්ය ගොඩකුඹුරේ මෙහි කැණීම් පිළිබඳව සඳහන් කරමින් ‘කැණීමේ මුල් අවස්ථාවේ දී ම විශේෂයෙන් කැපි පෙනුණු එක් කරුණක් නම් ඉඩම පුරා කුඩා ස්ථූප ගණනාවක ම පදනම් තිබීම නිසා මේ ඉඩම විශේෂ වැදගත්කම් ඇත්තක් වූ බවයි. අඩි 8 1/2ත් 12ත් පමණ විස්කම්භයක් ඇති මේ දාගැබ් බාර හාරාදිය පිණිස කළ ථූප හෝ සොහොන් යැයි සිතිය හැකි ය. මෙබඳු ථූපයන් 12ක් දැනට දක්නට ඇත. මේ ස්ථානයේ තිබී දැනට පදනමට පමණක් සීමා වූ අඩි 23 1/2ක විෂ්කම්භයක් සහිත දාගැබ් වන්දනාමාන සඳහා කරන ලද්දක් යයි සිතිය හැකි ය.

තල්ගස් වටකර ගත් කන්තරෝඩෙයි නටබුන් බිම නිසලත්වයක ගිලී ඇත. තහවුරු කළ සමහර දාගැබ්වල ඡාත‍්‍රාවලි යළිත් ගලවා බිම දමා තිබෙන බව පෙනේ. මේවා ඉදිකර ඇත්තේ හිරිගල් සහ හුණුගල් උපයෝගි කරගෙන ය. ගල්මල්, කොරල් ගල් ආදිය සමහර තැන්වල මතු වී පෙනේ.බොහෝ තැන්වල දක්නට ලැබෙන කණු පාදම් ගල්වලින් පෙනෙන්නේ දැවවලින් කළ ගොඩනැගිලි තිබුණු බවකි. මෙම භූමියෙන් දාගැබ් කොත්, ගල්කරඬු, වීදුරු දැගැබ් කොත්, වාමන රූප සාංචි සම්ප‍්‍රදායේ ගල්කණු කැබැලි, සිරිපතුල්ගල 16000 කට නොඅඩු පබළු බුද්්ධ ප‍්‍රතිමා කොටස්, බෝධිසත්ව ප‍්‍රතිමා, පුරාණ දේශිය සහ දකුණු ඉන්දියානු කාසි ආදි නෂ්ටාවශේෂ රාශියක් ලැබී ඇත. මෙම පුරාණ කෞතුක වස්තු යාපනය කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තැබූ බව වාර්තාවල සඳහන් ය. එහෙත් දැන් ඒවා තිබේ ද නැද්ද යනවග පවා අවිනිශ්චිත ය. ඒවා සුරැකී තිබේ නම් යළිත් මහජන ප‍්‍රදර්ශනයට පියවර ගැනීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ යුතුකමකි. දැනට මුහුද පිහිටියේ මෙහි සිට කිලෝමීටර් 9ක් පමණ ඈතින් ය. එහෙත් කැණීම් කිරීමේ දී අඩි 6ක් පමණ යටින් මුහුදු වැලි මතුවීමෙන් පෙනෙන්නේ අවුරුදු දහස් ගණනකට පෙර මේ ස්ථානයේ මහ සයුර තිබී ඇති බවත් පසුව එය ගොඩබිමක් බවට පත් වූ බවත් ය.

කුසුම්සිරි විජයවර්ධන

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 14 වෙනි සදුදා, 11:58
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife