නිවස අධ්‍යාපනික අධ්‍යාපනික රථවාහන අනතුරු වලදී බලපාන නීතිය

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
රථවාහන අනතුරු වලදී බලපාන නීතිය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

රථවාහන අනතුරු වලදී බලපාන නීතිය

ශ‍්‍රී ලංකාවේ සිදුවන රථවාහන අනතුරු සංඛ්‍යාව දිනපතාම ඉහළ යමින් පවතී. රථවාහන සංඛ්‍යාවන් අධිකවීම, අබලන් වාහන ධාවනය කිරීම, මහාමාර්ග පටුවීම හා අබලන්ව පැවතීම, ඒවා නිසි ලෙස නඩත්තු නොකිරීම, රියැදුරන් හා මහා මඟ යන එන්නන් මාර්ග නීති හා රථවාහන නීති සැලකිල්ලට නොගැනීම හා ඔවුන්ගේ අනවධානය යන කරුණු මාර්ග අනතුරු වැඩිවීමට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත.මහා මාර්ගයෙහි පයින් හෝ වාහන වලින් හෝ ගමන් කරන ඕනෑම කෙනකු ඕනෑම මොහොතක අනතුරකට ලක්වීමේ අවදානම හැම විටම පවතී. එසේ හෙයින් අප කවුරුත් රථවාහන සහ මහාමාර්ග පාවිච්චි කිරීමේදී තමන් ගැන පමණක් නොව අනුන් ගැන ද සැලකිල්ලෙන් හා අවධානයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍යය.මහජනයා විසින් අනිවාර්යෙන්ම දැනගැනීමේ අවශ්‍යතාවක් නැතිවුවද මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ පරිපාලනය හා කාර්ය පටිපාටිය පිළිබඳ කරුණු ද එමෙන් ම ශ‍්‍රී ලංකා මධ්‍යම ගමනා ගමන මණ්ඩලය හා ප‍්‍රාදේශීය ගමනාගමන මණ්ඩලවලින් ධාවනය කරනු ලබන බස් රථ පිළිබඳවත්, 1983 අංක 44 දරණ පෞද්ගලික බස්රථ සේවා පනත මගින් පාලනය වන පෞද්ගලික මගී ප‍්‍රවාහන සේවයට යටත් බස්රථ පිළිබඳවත් මෙම ලිපිනයට එක් කර නොමැත. ඒවා වෙන වෙනම අංශ වීමත්, රථවාහන නීති හා මාර්ග නීති පිළිබඳව දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ ලෙස හැඳින්විය හැකියි.රථවාහන අනතුරුවලින් පීඩාවට හා හානියට පත්වූවන් විසින් ඒ සඳහා වන්දි ලබා ගත යුත්තේ දිසා අධිකරණයන්හි සිවිල් වන්දි නඩු පැවරීමෙනි. එහෙයින් ඊට අදාළ කරුණු මෙහි දී සාකච්ඡා කෙරේ. මෝටර් රථවාහන පිළිබඳ ව දැනට බලපවත්වන්නා වූ ප‍්‍රධාන නීති පද්ධතිය අන්තර්ගත වී ඇත්තේ 1951 අංක 14 දරණ පනතෙහිය. එම ප‍්‍රධාන පනත දැනට විසිපස්වතාවක් සංශෝධන පනත් මගින් නැවත වරින්වර සංශෝධනය කර ඇත.මෙහි සංශෝධිත පනත් සංඛ්‍යාව 25 කි. මේ අනුව 1964 අංක 40 දරණ සංශෝධන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත වී ඇති නමුත් එය මෙතෙක් කි‍්‍රයාත්මක කර නැත. අනාගතයේ ඇති විය හැකි අවශ්‍යතාවන් අනුව තව දුරටත් පනත සංශෝධනය කිරීමට ද ඉඩ ඇත. මෝටර් රථ වාහන පනතේ නියමයන් අනුව පනවන ලද රෙගුලාසි මාලාවක් 1987 මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකා ජනරජයේ අංක 444/18 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රයේ පළ කරන ලදුව නීති ගත වී ඇත. එම රෙගුලාසි මාලාවෙහි දැක්වෙන මාර්ග සංඥා පිළිබඳව මෙම ලිපි පෙළ අවසානයේදී දැනුවත් කරන්නෙමු.

මෝටර් රථ වාහන නීතිය, මාර්ග නීතිය සහ ඒවාට අදාළ රෙගුලාසි පිළිබඳ දැනුමක් සියලු දෙනාටම තිබිය යුතු අතර වාහන හිමියන් සහ රියැදුරන් විශේෂ දැනුමක් ලැබිය යුතුය. අප රටේ දිනපතා සිදු වන රිය අනතුරු සංඛ්‍යාව ඉතා විශාලය. වාහන හිමියන් රියැදුරන් හා මගී ජනතාව ඒ නිසා විවිධ දුෂ්කරතාවන් වලට පත් වන බව ඇත්තකි. රිය අනතුරු පිළිබඳ නඩුකර දෙකකටම හසු වීමට රියැදුරන්ටත් වාහන හිමියන්ටත් සිදු වෙයි. එකක් නම් නීතිරීති කඩ කිරීමට විරුද්ධව මහේස්ත‍්‍රාත් උසාවියෙහි පැවැත්වෙන නඩු කටයුතුය. එහි දී ඇතැම් වැරැදි වලට දඩ ගෙවීමටත්, සිර දඬුවම් විඳීමටත් සිදු වෙයි. අනික් නඩු වර්ගය නම් අනතුරකින් පීඩාවට පත් වූ තැනැත්තන් තමන් පත්වූ පීඩාවට හා පාඩු වලට වන්දි ඉල්ලා දිසා අධිකරණයන් හි පවරනු ලබන වන්දි නඩුයි. වන්දි ඉල්ලා පවරනු ලබන නඩුවලදී තමන් විසින් හෝ තමන් විසින් සේවයෙහිි යොදවන ලද රියැදුරන් විසින් කරනු ලබන වැරැදි වලින් පීඩාවට පත් අයට වන්දි ගෙවීමට හෝ වැරැදි පිළිබඳව ද වගකීමට වාහන හිමියන්ට ද සිදු වෙයි.යම් වාහනයක් මහා මාර්ගයන්හි ධාවනය කිරීමට පෙර රක්ෂණය කිරීමත්, ධාවන බලපත‍්‍රයක් ලබා ගැනීමත් අනිවාර්ය වේ. මෙහි දී තුන්වැනි පාර්ශ්වයන්ට සිදුවන අනතුරු පිළිබඳව වන්දි ගෙවීමට රක්ෂණ ආයතනය බැඳී සිටින බව ඇත්තකි. සම්පූර්ණ ලෙස වාහනයක් රක්ෂණය කළ වාහනයකින් අනතුරක් සිදු වූ විට ඇති වන හානිපූරණය කිරීමට රක්ෂණ ආයතනය ඉදිරිපත් වේ. එහෙත් එසේ කරනුයේ රක්ෂණ ඔප්පුවේ සඳහන් කොන්දේසි සහ සීමාවන්ට යටත්වය. එහෙයින් රක්ෂණ ආයතනයට සියලු වගකීම් පවරා රියැදුරුට හෝ අයිතිකරුට අත්තනෝමතික ලෙස වාහන හැසිරවීමේ අයිතියක් නැත. අන්‍යයයන් ගැන සහ අන්‍යයයන්ගේ දේපළ ගැන ද සැලකිලිමත්ව නිසි අවධානයෙන් සුපරික්ෂාකාරී ලෙස මෝටර් රථ පාවිච්චි කිරීමේ වගකීම රථ හිමියන් හා රියැදුරන් කෙරෙහි පැවරී ඇති අතර නීතියට හා යුක්තියට එකඟව මහා මාර්ගයන්හි ගමන් කිරීමේ වගකීම සියලුම මහජනයා කෙරෙහි ද පැවරී ඇත.මීට අමතරව අප ප‍්‍රධාන පාරක මෝටර් සයිකලයකින් ගමන් ගන්නා විට බොහෝ වැරැදි අප අතින් සිදු වේ. එනම් හිස් ආවරණයක් නොමැතිව, තම රථයේ සංඥා එළි, තිරිංග ප‍්‍රධාන ලාම්පුව ආදි නිසි ලෙස කි‍්‍රයාත්මක නොවන තත්ත්වයන් තුළ සහ අංක තහඩුව, නොමැතිව ධාවනය කිරීම එම වැරැදි සමහරකි. මෙම වැරැදි සම්බන්ධයෙන්ද කිසියම් නීති පද්ධතියක් ඇත. ප‍්‍රධාන ලෙසම මෙවැනි වැරැදි සඳහා ක්ෂණික දඬුවම් සහ දඩ නියම කිරීමේ අයිතිය හා බලය  පොලිස් නිලධාරීනට තිබේ.මේවා සම්පූර්ණ නොකර ගමන් කරන විට පොලිස් නිලධාරියකුට එම රථය නවතා දඩ නියම කිරීමට හැකිය. එම දඩය නොගෙවා පැහැර හැරියහොත් අධිකරණයේ නඩු පැවරෙන අතර, එහිදී දඩයක් නියම කෙරෙන අතර, එය නොගෙවූ විට සිර දඬුවම් ද විඳීමට සිදුවේ.

එසේම කිසියම් රියැදුරකු අතින් රිය අනතුරකින් මරණයක් සිදුවුවහොත් නීතියට අනුව ඔහු වැරැදි කරුවකු වේ.මෙහි දී ඔහුගෙන් ප‍්‍රශ්න කර සාක්ෂි විමසා අවසානයේ දී ඔහුට දණ්ඩ නීති සංග‍්‍රහයට අනුව 295 හා 296 යන වගන්ති වලට අනුව සිර දඬුවමක් හෝ මරණීය දණ්ඩනය පවා නියම කිරීමට හැකිය. නමුත් ශ‍්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක නොවන බැවින් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරේ. තව ද රියැදුරකු අතින් අනතුරක් වළක්වා ගැනීමට ගන්නා උත්සාහයකදී සිදුවන තවත් අනතුරකදී කෙනකු මරණයට පත් වූයේ නම් ඔහු සිතාමතා එම අනතුර සිදු නොකළ බව ඔප්පු වුවහොත් අනිවාර්යයෙන් ම ඔහුට නීතිය තුළින් සහනයක් ලබාගැනීමට අවස්ථාව තිබේ.මේ වැනි දේවල් දිනෙන් දින වැඩි වන රිය අනතුරු අවම කර ගැනීම අප කාගෙත් වගකීමයි. එම නිසා පදිකයාට පනවා ඇති නීති රීති හරියාකාරව සිදු වන්නේ නම් රිය අනතුරු වළක්වාලීමට හැකිය. මෙහි දී පදිකයන් විසින් නිසි ස්ථානයෙන් පාර මාරුවීම, උමං මාර්ග පරිහරණය කිරීම, මගී පාලම් පරිහරණය කිරීම, පදික වේදිකාවෙන් ගමන්කිරීම ආදි සාමාන්‍ය පුංචි දේවල් අනුගමනය කිරීමෙන් බොහෝ දුරට පදිකයාට සිදු වන අනතුරු වලක්වා ගැනීමට හැකියාව ඇත.

ඉන්දු ගනේගොඩ

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 13 වෙනි ඉරිදා, 11:51