නිවස ඓතිහාසික ඓතිහාසික යටාල තිස්ස කුමරු උපන් බිමේ යටාල තිස්ස

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
යටාල තිස්ස කුමරු උපන් බිමේ යටාල තිස්ස පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

යටාල තිස්ස කුමරු උපන් බිමේ යටාල තිස්ස  වෙහෙර

මහානාග හට අනුරාධපුරයෙන් පළා ඒමට හේතු වූයේ දේශපාලන කි‍්‍රයාවලියක ඵලයක් ලෙස ය. ඔහු අනුරාධපුරයේ වලස් වැව කරවමින් සිටිය දී දෙවනපෑතිස් රජු ගේ දෙවැනි බිසව තම පුතුට රජකම උරුම කිරීමේ කි‍්‍රයාවලියකට එළැඹ සිටියා ය. ඒ අනුව මහානාග මැරවීම සඳහා ඇය විෂ යෙදූ අඹ පැසක් වලස් වැව වැඩ බිමේ සිටි මහානාග වෙත එවී ය. එහි සිටි ඇගේ කුඩා පුතු ඒ විෂ යෙදූ අඹ කෑමෙන් මිය ගියේ ය. එයින් බියට පත් වූ මහානාග සිය බෑයාටත් නොදන්වා ගැබිණියක වූ සිය බිසව ද සේනාව ද සමඟ රුහුණට පලා ගියේ ය.මහානාග රුහුණට පළා එන විට ගැබ්බර ව සිටි සිය මෙහෙසිය ’යටාල වෙහෙර දී පුතකු ලද’ බව මහාවංශය කියයි. (22 පරිච්ඡේදය) සිංහල ථුපවංශයේ ද එසේ මැ සඳහන් වේ. (125 පිටුව) එහෙත් පූජාවලියේ සඳහන් කර ඇත්තේ "යටාල නම් ස්ථානයක දී" පුතකු ලද බව ය. එහි වෙහෙර යන වදන සඳහන් නොවීම විශේෂත්වයකි. (771 පිටුව) එය සත්‍ය පුවත විය හැකි ය.

දෙවනපෑතිස් රජ කතරගම කිරි වෙහෙර ඉදි කිරීමට පෙර රුහුණු ප‍්‍රදේශයේ බෞද්ධ ස්තූපයක් හෝ විහාරාරාමයක් හෝ තිබුණ බවට වංශකතාවල සඳහන් නො වේ. දෙවන පෑතිස් රජු ගේ බෝධි රෝපණ උත්සවයට කතරගම හා සඳුන්ගම ක්ෂතී‍්‍රයයන් සහභාගි වූ බව වංශකතාවල සඳහන් වුව ද, ඔවුන් නැවත තම රාජධානි කරා පැමිණ වෙහෙර දාගබ් ඉදි කළ බවට වංශකතාවල සඳහනක් නො පෙනේ. එසේ නම් මහානාග රුහුණට පැමිණෙන අවදියේ යටාල වෙහෙරක් තිබෙන්නට නො හැකි ය. පූජාවලියේ සඳහන් පරිදි එහි ’යටාල’ නමින් ස්ථානයක් තිබෙන්නට ඇත. වර්තමානයේ ද මැණික් ගඟේ එක් ස්ථානයක් ’යටි අල්ලා තොට’ නමින් ව්‍යවහාර කිරීමෙන් එය සනාථ වේ. ඒ අනුව විමැසීමේ දී වංශකතාකරුවෝ එකල මැණික් ගඟේ   තොටුපොළ වන යටිඅල්ලාතොට හෙවත් යටාල නම් ස්ථානයට වෙහෙරක් ආදේශ කළ හ යි සිතිය හැකි ය.මහාවංශයේ හා සිංහල ථූපවංශයේ සඳහන් ’යටාල වෙහෙර’, වර්තමානයේ තිස්සමහරාමය සමීපයේ ඇති ’යටාල වෙහෙර’ බව බොහෝ දෙනෙක් පවසති. එහෙත් මහානාග අනුරාධපුරයෙන් පලා එන අවධියේ රුහුණේ එවැනි වෙහෙරක් ඉදිකළෝ කවරහු දැ යි විස්තරයක් පත පොතකින් සොයා ගත නො හැකි ය. එ සේ හෙයින් යටාලතිස්ස ජනිත වූ ස්ථානය යටාල වෙහෙර නමින් වර්තමානයේ හඳුන්වන ස්ථානය යැ යි සඳහන් කිරීම ගැටලු සහගත ය.

තිස්සමහාරාමයට යාබද කිරිඳිඔය අසබඩ පෙදෙසක මහානාග රාජධානිය පිහිටුවා ගත් බවට තහවුරු කළ හැකි කිසි ම විශ්වාසදායී සාධකයක් හමුවී නැති බව පුරාවිදු සක්විති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ 1968 ඔක්තෝබර් රසවාහිනී සඟරාවට ’මාගම රාජධානිය පිහිටියේ කොතැන ද’ යන ශීර්ෂයෙන් ලිපියක් සපයමින් පවසති. මහානාග රාජධානිය පිහිටුවා ගත්තේ රෝහණයේ දකුණු කොටසේ නො ව, උතුරු කොටසේ බව ද මොනරාගල දිස්ති‍්‍රක්කයේ කොල්ලාදෙනිය කිරිවැල්ගොඩ කන්දේ සහ නැ‍ඟෙනහිරි පළාතේ කුසලාකන්දේ සෙල්ලිපිවලින් අනාවරණය වන බව ද උන්වහන්සේ ඒ ලිපියෙන් පෙන්වා දෙති.එසේ නම් යටාලතිස්ස කුමරා ගේ උපත සිදු වූයේ කවර ස්ථානයක දී ද යි විමසා බැලිය යුතු කරුණකි. මේ පිළිබඳ වැදගත් සාධකයක් දැන් වෙන නටබුන් රැසක් මොනරාගල බුත්තල ප‍්‍රදේශයෙන් හමු වී තිබේ. ඉපැරැණි ගුත්තහාල නුවර සමීපයේ මැණික් ගඟ ඉවුර අසබඩ පිහිටා ඇති ගරා වැටුණු වෙහෙරක් සහ ගෘහ නිර්මාණ රැසක් මෙ සේ හමු වී ඇති නටබුන් අතර වේ. මේවා වර්තමානයේ ද "යටිඅල්ලාතොට හෙවත් යටාලතිස්ස වෙහෙර’ නමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ම හඳුන්වා දී තිබීම සැලැකිල්ලට ගත යුතු කරුණකි.වෙහෙර වටා ඇති ජනශ‍්‍රැතියෙන් ද දැනට ශේෂ ව ඇති පුරාවිද්‍යා නටබුන්වලින් ද මහානාග රජු ගේ පුත් යටාලතිස්ස මේ ස්ථානයේ දී උපත ලැබූ බව අනුමාන කළ හැකි ය. එවකට අනුරාධපුරයේ සිට රුහුණට පැමිණෙන මාර්ගය පොලොන්නරුව, මියුගුණය හරහා වැටී තිබුණු බව දුටුගැමුණු, පරාක‍්‍රමබාහු රජවරුන් ගේ සටන් ගමන් මාර්ග පිරික්සීමේ දී පැහැදිලි වේ. කි‍්‍රස්තු පූර්ව තුන් වැනි සිය වසේ සිට මැ, මේ මාර්ගය තිබුණු බව දේවානම් පියතිස්ස රජු ගේ යොදුනක වෙහෙර බිබිල කොටසරපියංගල, මැදගම තිඹිරිය විහාරය’ බුත්තල සුළුගුණ සෑය, වැල්ලවාය මල්අත්තාවෙල විහාරය ආදී ස්ථානවල ස්ථාපිත කර තිබීමෙන් පෙනේ. එසේ නම් මහානාග කුමරු රුහුණට පැමිණ ඇත්තේ ද මේ මාර්ගයෙනි.

අනුරාධපුරයෙන් පිටත් වූ මහානාග ඇතුළු පිරිස පොලොන්නරුව මයියංගනය හරහා ගුත්තහාල නුවරට පැමිණිය හ. එයින් රුහුණට යෑමට මැණික් ගඟ තරණය කළ යුතු ය. මහානාග සිය ගැබ්බර බිරිය සමඟ මැණික් ගඟේ යටිඇල්ලේ තොට සමීපයට පැමිණෙත් මැ, ගමන් වෙහෙස අධික වීමෙන් මෙහෙසියට ප‍්‍රසූත වේදනාව හට ගත්තේ ය. මෙහෙසිය රෝගී තත්ත්වයට පත් වූ හෙයින්, ගඟින් එතෙරව යෑමට ඔවුහු අපොහොසත් වූ හ. මහානාග මෙහෙසියට දරුවා ලැබෙන තුරු යටිඅල්ලාතොට ගං ඉවුරේ තාවකාලික මාලිගාවක් ඉදිකළ මහානාග යුවරජ, සිය සෙන් සමඟ එහි විසූ හ. එහි දී මහානාග දේවියට පුතෙක් උපන. මැණික් ගඟේ යටිඇල්ලේ තොටේ දී උපන් හෙයින් ඒ දරුවාට යටිඇල්ල යන නාමය සිහිවීම පිණිස ’යටාල’ නම ද, සිය බෑයා ගේ නමේ අග වදන වන ’තිස්ස’ යන්න ද එක් කොට ’යටාලතිස්ස’ යනුවෙන් නම් තැබී ය.

ඉන්පසු මහානාග ඇතුළු පිරිස පුත් කුමරු තරමක් වැඩෙන තුරු මැණික් ගඟ අසබඩ මාලිගයේ ටික කලක් විසූ හ. එහි දී මාලිගාව සමීපයේ කුඩා ස්තූපයක් සහිත විහාරයක් කරවූ මහානාග යුවරජ තම පුතු උපන් ස්ථානය සිහිවීම පිණිස එය "යටාලතිස්ස වෙහෙර" හෙවත් ’යටිඅල්ලාතොට විහාරය’ නමින් හැඳින්වී ය. වර්තමානයේ ද ඒ වෙහෙර ඒ නමින් මැ ව්‍යවහාර කිරීම එහි ඓතිහාසික තත්ත්වය කියා පෑමකි.බුත්තල සිට කතරගම මාර්ගයේ කිලෝමීටර් පහක පමණ දුරක් ගිය පසු යටාල තිස්ස වෙහෙරට යා හැකි අතුරු මාර්ගය හමුවේ. එහි සිට කිලෝමීටර් හතරක පමණ දුරක් ගමන් කළ පසු මැණික් ගඟේ යටිඅල්ලාතොට නම් ස්ථානයට පිවිසේ. ගඟින් එතෙර වූ පසු ගංඉවුර අසබඩ මේ රම්‍ය වූ මාලිගාවේ නටබුන් දක්නට ඇත. එයින් කිලෝමීටරයක පමණ දුරක යටි අල්ලා තොට විහාරය හෙවත් යටාලතිස්ස වෙහෙරේ ස්තූපය සහිත නටබුන් දර්ශනය වේ.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෑතක දී කරන ලද කැණීම්වලින් මෙහි තිබී සෙල්මුවා පුවරු ලිපියක් සොයා ගෙන ඇත. අඩි පහක් පමණ උස එහි කිතු වසින් අට වැනි, නවවැනි සියවස්වලට අයත් අකුරුවලින් පුවරු ලිපිය සටහන් කොට තිබේ. ප‍්‍රාදේශීය අධිපති අක්බෝ ඈපාණන් වහන්සේගේ අණින් සල බුදදස් මහය ඇතුළු රාජපුරුෂයන් විසින් ගුත්හල් දිස්ති‍්‍රක්කයට ප‍්‍රදානයකරන ලද විශේෂ බලතල අයිතිවාසිකම් ප‍්‍රදානයක් පිළිබඳ මේ පුවරු ලිපියේ සඳහන් වන බව ඒ ඉදිරියේ සවි කර ඇති පුරාවිද්‍යා නාම පුවරුවේ සඳහන් වේ.

ඒ පුවරු ලිපියට අනුව අට වැනි නවවැනි සිය වස් වන විට යටාලතිස්ස වෙහෙර බව සඳහන් කළ හැකි ය. අද එය ඒ නමින් මැ ව්‍යවහාර කිරීමෙන් යට කී ජනශ‍්‍රැතිය සැබෑ එකක් බවට සිතිය හැකි ය.එකල මහානාග රජු විසින් ඉදි කරන ලද මාලිගාවේ නටබුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කැණීම් කොට හෙළි කර තිබේ. එහි පාදම පැහැදිලි ව මැ දැක ගත හැකි ය. ගෙබිම අඩි 6 * 4  ක් පමණ විශාලත්වයෙන් අඟල් 4 ක් පමණ ගනකමින් යුත් ගල් පුවරු සවිකර අලංකාරයෙන් යුක්ත ව තිබූ බව තැනින් තැන විසිරී ඇති ගල් පුවරුවලින් අනාවරණය වේ. අඩි  1*1*12 ක් හා අඩි 1*1*14 ක් තරම් ප‍්‍රමාණයේ ගල් පුවරුවලින් ඉදි කරන ලද අඩි 12 ක් පමණ ගැඹුරු වූ දිය පොකුණක් මාලිගා බිම සමීපයේ ඇත. අප එහි ගියේ නියං සමයේ වුව ද එහි පතුලේ ජලය පිරී තිබිණි. මේ පොකුණ ද කලාත්මක නිර්මාණයෙකි. එහි මතුපිට සිට පතුල දක්වා මැ යට සඳහන් ප‍්‍රමාණ වූ ගල් පුවරු සකසා ඇත්තේ පියගැට පෙළක් පරිදි පොකුණ තුළට බැස යෑමට පහසු වන පරිදි ය.

මාලිගාවේ පාදමට සම්බන්ධ කර ඉදිරිපසින් පියගැට පෙළකි. පියගැට පෙළ පාමුල සඳකඩ පහනකි. එහි සරල මෝස්තරයක් පමණක් නෙළා ඇත. පියගැට පෙළ දෙපස ඇති කොරවක් ගල්වල පිට පැත්තේ පුන් කලසක් සහිත කැටයම අලංකාර ය. අනුරාධපුර යුගයේ මධ්‍යකාලීන කොරවක් ගලක දක්නට ලැබෙන ගජසිංහ රූපය මෙහි දක්නට නැත්තේ ය. මේ ගෘහ නිර්මාණය අනුරාධපුර යුගයේ මුල් අවධියේ කළ එකක් බව එයින් පෙනී යයි.මාලිගාවේ නටබුන් ඇති ස්ථානයේ සිට කිලෝමීටරයක තරම් දුර ඒ බිම් කඩට මැ සම්බන්ධ කොට යටාලතිස්ස විහාරය පිහිටියේ ය. එහි ගරා වැටුණු චෛත්‍යය වර්තමානයේ තෘණවලින් ආවරණය වූ අඩි පනහක් පමණ උස පස් ගොඩකි. චෛත්‍යයේ පාදම පමණක් නොනැසී පවතී. සලපතළ මළුව සම්පූර්ණයෙන් මැ තණකොළවලින් වැසී ඇති හෙයින් එහි අතුරා තිබූ ගඩොළු හෝ ගල් පුවරු හෝ දැක ගත නො හැකි ය.

ලක්දිව බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කිරීමට පෙර වැඳුම් පිදුම් කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ ගේ සිරි පතුල නිර්මාණය කරන ලද ගල් පුවරුවලට ය. අනුරාධපුර යුගයේ මුල් අවධියේ ඉදිකරන ලද බොහෝ විහාරස්ථානවල නටබුන් අතර සිරිපතුල නිර්මාණය කළ ගල් පුවරු හමුවීමෙන් එය පැහැදිලි වේ. යටාලතිස්ස දාගබ සමීපයේ තිබී සිරිපතුල සහිත ගල් පුවරුවක් හමුවී තිබේ. එහි ඇති සිරිපතුලේ ඇඟිලි ගෙවී ගොස් ඇති අතර, විලුඹ සහිත පාදයේ සෙසු කොටස් මනාව දිස් වේ. ගොඩනැගිල්ලක සෙල්මුවා කුලුනක් සවි කොට තිබූ පදම් ගලක් ද චෛත්‍යය සමිපයේ තණකොළවලින් වැසී තිබේ. මේ වෙහෙරේ ඉපැරැණි බව ඒවායින් පිළිබිඹු වේ.චෛත්‍යය සමීපයේ කැලෑවට යටවී ඇති සෙල්මුවා කුලුනු, එහි වෙනත් ගොඩනැගිලි සංකීර්ණයක් තිබුණු බවට සාධක වේ. චෛත්‍යයට නැඟෙනහිරි දෙසින් මීටර් පන්සියයක් පමණ දුරින් විශාල ගිරි ලෙනකි. මහානාග රජ බිසව ප‍්‍රසව වේදනාවෙන් පෙළුණු විට මේ ගිරි ලෙනට ගෙන ගිය බවත්, එහි දී යටාලතිස්ස කුමරු ගේ උපත සිදු වූ බවත් එයින් අනතුරු ව මහානාග රජු යටකී මාලිගාව ඉදි කර ටික කලක් එහි විසූ බවත් ජනශ‍්‍රැතියේ සඳහන් වේ. යටාලතිස්ස කුමරු සිහිවීම පිණිස මහානාග රජු විසින් ඉදි කරන ලද යටිඅල්ලාතොට වැව ද ඒ සමීපයේ නිල් දියෙන් පිරී පවතී. ගරා වැටී තිබුණු එය මෑතක දී පිළිසකර කරන ලදුව, විශාල කෙත් යායකට ජල පහසුකම් ලබා දේ.මහානාග අනුරාධපුරයෙන් පලා එන අවධියේ රුහුණේ කතරගම හා සඳුන්ගම යනුවෙන් ක්ෂතී‍්‍රය රාජධානි දෙකක් තිබූ බව යට සඳහන් වේ. රෝහණාභිමුඛ ව පැමිණි මහානාග මෙතරම් ප‍්‍රබල රාජ්‍ය පිරිසක් මධ්‍යයේ රාජධානියක් ගොඩනගා ගනිතැ යි සිතීම කෙසේවත් පිළිගත හැකි සත්‍යයක් නො වේ යැ යි ද මේ නිසා මහානාග පිහිටුවා ගත් මහාගාම රෝහණයේ දකුණු කොටසේ නො ව, එහි උතුරු කොටසට හුරු ව යැ යිද 1968 ඔක්තෝබර් රසවාහිනී සඟරාවට ’මාගම රාජධානිය පිහිටියේ කොතැන ද’ යන ශීර්ෂයෙන් සපයන ලද ලිපියෙන් එල්ලාවල මේධානන්ද හිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.

ඒ අනුව සලකා බැලීමේ දී මහානාග යුවරජු රෝහණයේ උතුරු කොටසේ (මොනරාගල අම්පාර දිස්ති‍්‍රක්ක) මහාගාම රාජධානිය පිහිට වූ බව නිගමනය කළ හැකි ය. මොනරාගල බුත්තල (එකල ගුත්තහාල) ප‍්‍රදේශයේ නටබුන් වී ඇති යටිඅල්ලාතොට හෙවත් යටාලතිස්ස වෙහෙර මහානාග රජු විසින් ඉදි කරන ලද, ඔහු ගේ පුත් යටාලතිස්ස කුමරුවන් ගේ ජන්ම භූමිය බව සැලැකීම සාවද්‍ය නො වේ.වසර දහස් ගණනක් තිස්සේ ගරා වැටී කාලයා විසින් කැලෑවට යට කරනු ලැබූ යටිඅල්ලාතොට හෙවත් යටාලතිස්ස පුරාණ විහාරය 1964 වර්ෂයේ තුන්තල සීලරතන හිමියන් විසින් සොයා ගනු ලැබ කැලෑව එළි පෙහෙළි කොට නව විහාරස්ථානයක් සේ නැවත ආරම්භ කැරිණි. වර්තමානයේ උන්වහන්සේ ගේ ශිෂ්‍ය අන්දම්පහුවේ ජිනරතන හිමියෝ විහාරාධිපති ධූරය දරමින් විහාරය සංවර්ධනය කිරීමේ නියැලී සිටිති. විහාරවාසී පීල්ලවෙලනන්දාරාම හිමියෝ ද උන්වහන්සේට සහාය දක්වති.මේ කරුණු විමසා බැලීමේ දී තිස්සමහාරාමය සමීපයේ ඇති වර්තමානයේ යටාලතිස්ස වෙහෙර නමින් ව්‍යවහාර කරන විහාරය මහානාග රජු විසින් හෝ යටාලතිස්ස රජු විසින් හෝ ගෝඨාභය රජු විසින් හෝ පසු ව කරන ලද්දක් බව යැයි අනුමාන කළ හැකි ය.

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife