නිවස ඓතිහාසික ඓතිහාසික මඟුල් මහා විහාරය

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
මඟුල් මහා විහාරය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

මඟුල් මහා විහාරය

මිනිස් වර්ගයාගේ ඉතිහාසය පිළිබඳ තොරතුරු පවසන්නා වු සාධක අතරින් ඓතිහාසික ස්මාරකවලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. මෙවන් ඓතිහාසික උරුමයන් පිළිබඳ ගවේෂණය කිරීමටත් ඒවා අනාගතය වෙනුවෙන් සංරක්‍ෂණය කර තැබීමටත් සෑම රටක් ම උත්සුක වන්නේ එම සාධක තම වර්ගයාගේ අනන්‍යතාව , අභිමානය පෞඩත්වය ලොවට කියාපාන සාධක නිසාය. අද අපේ අනන්‍යතාව කියාපෑමට අපට ඉතිරිව තිබෙන්නේ ද මේ ඓතිහාසික උරුමය පමණක් යැයි කිවහොත් එය සාවද්‍යයක් නොවේ. නමුත් මේ උරුමයන් පිළිබඳ ගවේෂණය කර සංරක්‍ෂණය කර තැබීමට දරන්නා වූ උත්සාහය ප‍්‍රමාණවත් ද යන්න ගැටලුවකි. විනාශ වී යන ඓතිහාසික උරුමයන් පිළිබඳ කතා කොතෙකුත් ඇත. මේ ඒ අතරින් එක් කතාවකි.අම්පාර ලාහුගල පිහිටි මඟුල් මහා විහාරය යනු ඓතිහාසික නටබුන් සංකීර්ණයකි. පෞරාණික විහාරයකට අයත් නොයෙක් අංශවල නටබුන් රැසක් අති විශාල වූ පුළුල් පරාසයක් තුළ විහිදී තිබේ. මේ භූමියට ප‍්‍රවිශ්ට වන විටදී ම දක්නට ලැබෙන්නේ පොකුණක ශේෂයන් ය. පොකුණ වටා වූ ගල් බැමි රැසක් දැක ගත හැකි ය.කළුගල් පවුරකින් වට කළ හතරැස් මළුව තුළ මේ විහාරයේ අංග ඉදි වී ඇත. මේ නටබුන් අතර බෝධිඝරය, පිළිමගෙය, දාගැබ සහ උපෝස්ථාඝරයේ නටබුන් ප‍්‍රධාන වේ. මේ වන විට සංරක්ෂණ කර ඇති බෝධිඝරය විශිෂ්ට වු නිර්මාණයකි. බෝධිඝරයේ පිටත ගල් බැම්ම තුළ ගලින් ම මතුකර දක්වා ඇති පුන්කලස් හා වාමන රූප මෙහි විශේෂත්වයකි. පුන්කලස සහ වාමන රූප එක දිගටම කැටයම් කර තිබේ.

මේ නටබුන් සංකීරණයේ දක්නට ලැබෙන තවත් සුවිශේෂ අංගයක් වු දාගැබ ද සංරක්ෂණය කර ඇත. දාගැබ සහිත මලුවට ඇතුළු වීම සඳහා සිව් දිශාවෙන් දොරටු සතරකි. තරමක උස් වූ පියගැට පෙළක් නැඟ දාගැබට ප‍්‍රවිශ්ට විය හැකිය. මෙහි දක්නට ලැබෙන මුරගල් පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ යුතුය. පුන්කලස් කැටයම් කරන ලද අර්ධ කවාකාර හැඩයක් ගත් දිගු පුවරු ස්වරූපයෙන් මෙම මුරගල් ඉදිකර ඇත.මෙහි දක්නට ලැබෙන තවත් ප‍්‍රධාන ගොඩනැගිල්ලක් වන්නේ පිළිමගෙයයි. එයට ප‍්‍රවේශ වන ස්ථානයේ ම සෙල් ලිපියක් දක්නට ලැබේ. පිළිම ගෙය තුළ සිව් කඩකට වෙන් වී ගිය බුදු පිළිමයක් දැක ගත හැකිය. එම බුදු පිළිමය තවමත් පොලොව මත පතිත වූ ආකාරයක් දක්නට ඇත.මෙම විහාර භූමියේ දක්නට ලැබෙන සඳකඩපහණ පිළිබඳ ද යමක් සඳහන් කළ යුතුය. කැටයම් සහිත සහ කැටයම් රහිත සදකඩපහණ් දක්නට ලැබේ. කැටයම් සහිත සඳකඩ පහණ විශේෂතා රැසකින් යුක්තය. එහි පළමු පේළියේ කැටයම් කර තිබෙන්නේ ඇතුන්ගේ රූපය. එකා පසුපස ගමන් කරන ඇතුන් දැක්වේ. එහිදී හොඩවැල ඉහළට ඔසවාගෙන සිටින ඇතා සහ හොඩවැල පහතට දමාගෙන සිටින ඇතා මාරුවෙන් මාරුවට කැටයම් කර ඇත. ඉන්පසු තීරුවෙහි දැක්වෙන්නේ ලියවැල් මෝස්තරයයි. තුන්වෙනුව හංස පේළිය දක්නට ලැබේ. මෙම හංසයන් හොටින් නොයෙක් දෑ එල්ලාගෙන සිටින ආකාරයක් දක්නට ලැබේ. සමහර හංසයන්ගේ හොටෙහි දක්නට ලැබෙන්නේ මල් පොහොට්ටු යැයි අනුමාන කළ හැකිය. ඉන්පසුව නෙළුම් පෙති දක්නට ලැබේ. මේ සඳකඩ පහණෙහි සුවිශේෂි වැදගත් කමක් ඇති බැව් පැහැදිලිය. නමුත් කණගාටුවට කරුණු වන්නේ මේ සඳකඩ පහණ මඩවලින් යට වී තිබීමයි. මේවායේ විශේෂත්වයන් ගවේෂණයට හා සුරක්ෂිතතාව පවත්වාගෙන යාමට දක්වා ඇති අවධානය අල්පවීම අවාසනාවන්ත කරුණකි. ඉහත ආකාරයේ සඳකඩ පහණවලට අමතරව වෙනත් මෝස්තර කැටයම් කර ඇති සඳකඩපහණ ද මේ භූමියෙන් දැක ගත හැකි ය.තවමත් සංරක්ෂණය නොකළ ගොඩනැගිලි රැසක් මේ නටබුන් සංකීර්ණය තුළ දැක ගත හැකිය. තවමත් ඒවායේ සංරක්ෂණ කටයුතු සිදු නොවි තිබීම කණගාටුවට කරුණකි.

මෙම ස්ථානයේ ඓතිහාසික වැදගත්කම කුමක් ද යන්න විමසා බැලීම ද අත්‍යවශ්‍ය වේ. මේ විහාරය ආශි‍්‍රතව ගොඩනැගුණ ප‍්‍රබල ජනප‍්‍රවාදයක් ඇත. කැලනියෙන් මුහුදට පා කරන ලද විහාර මහාදේවිය ගොඩබැස්සේ පොතුවිල්වල පිහිටි මුහුදු මහා විහාරය නමින් හඳුන්වන ස්ථානයට යැයි ජනප‍්‍රවාදයක් පවතී. මඟුල් මහා විහාරය ආශි‍්‍රත ජනප‍්‍රවාදය ද මුහුදු මහා විහාරයේ ජනප‍්‍රවාදය සමඟ බැදී පවතී. මුහුදු මහ විහාරය පිහිටි ස්ථානයෙන් ගොඩබට විහාර මහා දේවිය, කාවන්තිස්ස රජතුමාට හමු වී ඇත්තේ කෝමාරිය නමින් හඳුන්වන ස්ථානයේ දී ය. ඉන්පසුව මේ දෙදෙනාගේ විවාහය (කි‍්‍ර.පු. දෙවන සියවසේදී සිදු වී ඇත්තේ මෙම මඟුල් මහා විහාර භූමියේ දී යැයි ජනප‍්‍රවාදයක් කියවේ. එම විවාහය සඳහා භාවිත කළ මඟුල් පෝරුව ලෙස මෙම ස්ථානයක් දක්නට ලැබෙන බෝධිඝරයේ ගල් පුවරු සහිත නටබුන් හඳුන්වා දීම ජනප‍්‍රවාදය තුළ පවතින්නකි. ආචාර්ය හේමපාල ජයවර්ධනයන් සිංහල දේශික විශ්වකෝෂය තුළ පෙන්වා දෙන්නේ එම ජනප‍්‍රවාදය පදනම් විරහිත වුවක් බවයි.“ එය පදනම් විරහිත ජනප‍්‍රවාදයකි. දහ හතර වන සියවසේ විසු විහාර මහා දේවිය කි‍්‍ර.පු. දෙවන සියවසේ සිටි විහාර මහා දේවිය ලෙස වරදවා ගැනීමෙන් මේ ජනප‍්‍රවාදය බිහි වූ බව සිතිය හැකිය.’’ සී. ඩබ්ලිව් නිකලස් සිය “ පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය” තුළ මෙම ස්ථානය අතිතයේ රෝහණ විහාරය නමින් හැඳින්වු විහාරය බව පෙන්වා දෙයි.

“ දැනට මඟුල් මහා විහාරය නමින් ප‍්‍රකට ස්ථානයෙහි ඇති 14 වැනි සියවසට අයත් වු ද විහාර මහා දේවි නම් රැජිනකගේ අණින් කොටවන ලද්දා වූ ද සෙල් ලිපි දෙකක මෙතන නම් කොට ඇත්තේ රුහුණු මහ වෙහෙර යනුවෙනි. දාසෙන්කාලි (ධාතුසේන) විසින් එය කරවන ලද බව ද කියා තිබේ. මේ විහාර මහා දේවි වනාහි සොළින් විනාශ කොට රෝහණය පාලනය කළ පැරකුම්බා (පරාක‍්‍රම) නම් වූ සහෝදර රජවරුන් දෙදෙනෙකුගේ අග බිසොවය. ආරම්භකයාගේ නම පිළිබඳ වංස කතාවල හා සෙල් ලිපියේ විස්තරවල විසමතාව කෙසේ වුවද රෝහණ විහාරය හඳුනාගැනීම පිළිගෙන තිබේ.” ඒ අනුව මෙම විහාරය ධාතුසේන රජතුමා (කි‍්‍ර.ව. 453 - 473) විසින් කරවන ලද බව කියවේ. මේ ස්ථානය ආශි‍්‍රතව ලැබී ඇති සෙල් ලිපි සාධක අනුව ගම්පොළ ධ්ඍ  බුවනෙකබාහු (කි‍්‍ර.ව. 1341 - 1351) හා දැදිගම  ඍ  පරාක‍්‍රමබාහු (කි‍්‍ර.ව. 1344 - 1359) යන රජවරුන්ගේ බිසව වු විහාර මහා දේවී නම් වූ බිසවක විසින් 14 වන සියවසේ දී ප‍්‍රතිසංස්කරණය කොට තිබේ.මේ සංකීර්ණය පුරා විසිරි ඇති ශේෂයන් ගවේෂණය තුළින් තවදුරටත් මේ ස්ථානය පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකි වේ. නමුත් ඒ සඳහා යොමු කර ඇති අවධානය ඉතාමත් අල්ප බව කිව යුතු ය. අඩුම තරමින් එම පෞරාණික උරුමය ආරක්ෂා කර ගැනීම සඳහාවත් නිසි අවධානයක් නොමැති බව සඳහන් කළ යුතුමය.

නිවන්ති තිලකරත්න

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife