නිවස ඓතිහාසික ඓතිහාසික රජකාලේ අපේ පාලම්

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
රජකාලේ අපේ පාලම් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

රජකාලේ අපේ පාලම්

පෙ‍්‍රෟඩ ඉතිහාසයකට හිමිකම් කියන අපේ රටේ ශිෂ්ඨාචාරය මූලික වශයෙන්ම ගංගාශ‍්‍රිතව ආරම්භ වූවක්. මේ නිසාම ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිටම ගංගාධාර ඔස්සේ ස්වකීය නිජබිම් ව්‍යාප්ත කිරීමට එකල මිනිසා යොමුවුණා.ඇළ දොළ ගංගා තරණය මුල් අවදියේදී සිදුවූයේ ඉතා දිගු ලතාවන් ආශ‍්‍රයෙන්. ගස්වටා ඇති දිගු වැල් දෑතින් බදා ගොඩබිම සිට දියවැල් මතින් එගොඩට පිවිසීමට පැරැන්නන්ට හැකිවුණා. එලෙස වැලකින් ආරම්භ වුණු පාලම අද ද වැල් පාලම් ලෙසින් දකින්නට ලැබෙනවා. පසුකාලීනව ස්වභාවික ගස් උපයොගී කරගෙන ගංගා තරණය කෙරුණා. විශාල රුක් කඳක් සහිත ගස් ගංගා අතරට දමා ඒදණ්ඩක් සේ භාවිතා කරන්නට යෙදුණා.මෙයිනුත් පසුව ස්වභාවිකව සැදුණු ගල්තලා උපයෝගී කරගෙන ඒ මත ඒදඬු පාලම් සාදා දිය කඳක් මතින් ගමන් කරන්නට අවකාශ සලසා ගන්නට අපේ මුතුන්මිත්තන් සමත්වුණා. ජලාශ‍්‍රිත ශිෂ්ඨාචාරය නිසාම ක‍්‍රම ක‍්‍රමයෙන් ගල් පතුරු පුරුද්දා පාලම් තැනීමේ සුවිශේෂී තාක්‍ෂණයක් අපේ පැරැන්නන් සතුවුණා.

ගල් පාලම්දේශීය පාලම් තාක්‍ෂණයට අනුව ලංකාවේ ඉදිකළ පැරැණි පාලම්, වර්ග තුනකට බෙදා වෙන්කරන්න පුළුවනි. එම වර්ග තුන වන්නේ ගල්පාලම්, ලී පාලම් සහ ග‍්‍රාමීය පාලම්ය.ඉදිකිරීම් තාක්ෂණය අනුව ගල් පාලම්ද, ගල් බාල්ක පාලම් සහ ගල්පුවරු පාලම් වශයෙන් දෙයාකාරයකට හඳුනාගන්න පුළුවනි. විශාල පාලම් ඉදිකරන්නට යොදාගෙන ඇත්තේ ගල් බාල්ක ක‍්‍රමයයි. මහා වංශයේ සිලාසේතු නමින් හඳුන්වා ඇති මෙම පාලම් කීපයක අවශේෂ දැනුදු අනුරාධපුරය හා ඒ අවටින් හඳුනාගත හැකියි.දැනට ශේෂව ඇති ගල්පාලම් අතරින් තුනක්ම අනුරාධපුරයේ මල්වතු ඔය හරහා දක්නට ලැබෙනවා. රාම රාවණා යුද්ධයේදී හනුමන්තා ප‍්‍රමුඛ වානර සේනාවට ගෝණග‍්‍රාමයෙන් පැමිණ ලංකාවේ දකුණු පැත්තට ඒමට උපකාරී වූයේ මල්වතු ඔය හරහා පෙරිමියන්කුලමේදී බැඳ තිබුණු ගල් පාලම බවයි. සේතු බන්ධය නම් පැරණි සාහිත්‍ය කෘතියේ සඳහන් වෙන්නේ. දන්ත ධාතූන්වහන්සේ රට මැදට ගෙන ඒම දන්ත කුමරු හා හේමමාලාවන් මේ ‍‍ඓතිහාසික ගල් පාලම උපයෝගී කරගත් බවත් පැවසෙනවා.අනුරාධපුරයේ හාල්පාන් ඇළ හරහාද කුඩා ගල් පාලමක් දකින්නට ලැබෙන අතර එය දැනට අනුරාධපුරයේ ඇති ගල් පාලම් අතරින් හොඳින් ආරක්ෂා වී ඇති පාලමක් ලෙසින් හඳුන්වන්න පුළුවනි. මෙම ගල් පාලම කි‍්‍ර.ව. 5 – 9 සියවස්වලට අයත් වන බවයි සඳහන් වෙන්නේ.තවත් එවැනි ගල් පාලමක් මිහින්තලේ මහකනදරා ඔය අසළදී දකින්නට ලැබෙනවා.මෙම පාලම් සියල්ලම නිර්මාණය කර තිබෙන්නේ ගල් බාල්ක ක‍්‍රමයටයි. මේ ක‍්‍රමයට තැනූ තවත් ගල් පාලම් දෙකක් ගැන වාර්තා වෙනවා. ඉන්් එක් පාලමක් පිහිටා ඇත්තේ මඩකලපුවට නුදුරිනි. “වනාති පාලම” නමින් හඳුන්වන මේ පාලම පිළිබඳ 1860 දී එවර්ටීන් ටෙනන්ට් සඳහන් කර තිබෙනවා. යකා බැඳි පාලම නම් වූ අනෙක් පාලම ගැන 1840 දී මේජර් ෆෝබස් සඳහන් කර තිබෙනවා. මේ පාලම් දෙකම අයත්වන්නේ කි‍්‍ර.ව. 4 වැනි සියවසට බවයි පැවසෙන්නේ.අනෙක් ගල් පාලම් ක‍්‍රමය වන ගල් පුවරු පාලම් වැඩි වශයෙන්ම දැකිය හැකි වන්නේ පධානඝර (භාවනායෝගී භික්ෂූන්වහන්සේලා උදෙසා තැනූ මාලකයකින් හා දිය අගලකින් වටවූ ප‍්‍රාසාදයකින් සමන්විත ගොඩනැගිල්ල) ආශ‍්‍රිතවයි. මෙම පාලම්වල දැව කණු මත රැඳවූ උළු සෙවිළි කළ පියස්සක්ද තිබෙන්නට ඇති බව මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා පවසනවා. මෙවැනි පධානඝර, අනුරාධපුර බටහිර ආරාම, රිටිගල, අරන්කැලේ වැනි ස්ථානවල දක්නට පුළුවන්. මීට අමතරව රිටිගල වැනි ස්ථානවල කුඩා ජල මාර්ග හරහා ද ගල් පුවරු පාලම් දකින්නට ලැබෙනවා.

ලී පාලම්ලංකාවේ ඓතිහාසික මූලාශ‍්‍රයන්හි බහුලවම තොරතුරු සඳහන් වන පාලම් විශේෂයකි ලී පාලම්. එහෙත් දැව ඉක්මනින් විනාශයට ලක්වන ඉදිකිරීම් මාධ්‍යයක් වන නිසා පැරණිම ලී පාලම් කිසිවක් අද දක්නට ලැබෙන්නේ නැහැ.ලී පාලම් පිළිබඳව පැරණිම සාධකයක් ලෙස සැලකිය හැක්කේ හත්ථවනගල්ල, විහාර වංශයෙහි එන, තිසා වැව අසල වූ ලී පාලම පිළිබඳ සඳහනයි. එසේම සීගිරියේ බටහිර දොරටුවෙහි ඇතුළු දිය අගල හරහාද අවශ්‍ය වූ විටෙක ඉවත් කළ හැකි ලීයෙන් තැනූ පාලමක්   තිබෙන්නට ඇති බවයි පුරා විද්‍යාඥයන් පවසන්නේ.එසේම විසුද්ධි මාර්ග සන්නයෙහි මිනිසුන් හතර පස් දෙනෙකුට එකවර ගමන් කළ හැකි ලෑලි වලින් සෑදූ ඇණ ගැසු “ජංස සේතු” හා කරත්ත ගමන් කළ හැකි ‘සකට සේතු’ නම් පාලම් ප‍්‍රභේද දෙකක් ගැන සඳහන් වෙනවා.12 – 13 සියවස් වලට අයත් ලී පාලම් රැසක් පිළිබඳව තොරතුරු මහා වංශයේ සඳහන් වෙනවා. ඒ අතරින් මහා පරාක‍්‍රමබාහු රජුගේ දේව නම් සෙනෙවියකු විසින් ගිරිබාවට උතුරින්, කලාඔය හරහා තැනූ පාලම පිළිබඳ තොරතුරු ඉතා වැදගත්වෙනවා ඇත්, අස්, රිය හමුදාවලට එතෙර යා හැකි පරිදි සවිමත්ව තැනූ එම පාලම දිගින් මීටර් 90 ක් වන බව සඳහන් වෙනවා. මේ සඳහා මීටර් 9 ක් දිග බාල්ක, ලී කඳන්, යකඩ පටි, යකඩ ඇණ ආදිය ප‍්‍රයෝජනයට ගෙන ඇති බවද මහාවංශයේ සඳහන් වෙනවා.මහාවංශයේ සඳහන් වන ආකාරයට ලක්දිව පාලම් වැඩි සංඛ්‍යාවක් ඉදිවී ඇත්තේ දෙවැනි පරාක‍්‍රමබාහු රජ සමයේදීයි. මෙහිදී දේව පතිරාජ නම් ඇමැති කෙනෙක් ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කර තිබෙනවා. දිවයිනේ බටහිර ප‍්‍රදේශයේත් ශ‍්‍රීපාද මාර්ගයේත් මෙම පාලම් ඉදිකර ඇති අතර මේවායේ නටබුන් කිසිවක් දක්නට නොලැබෙන නිසා ඒවා ලීවලින් කරන ලද පාලම් විය හැකි යැයි සිතන්න පුළුවන්.මෙම පාලම් අතරින් දිගම පාලම වශයෙන් හඳුනාගන ඇත්තේ “කදලිසේනගාම” යෙහි ඉදිකළ අඩි 1000 ක් පමණ දිග යැයි පැවසෙන පාලමකි. මීට අමතරව “කාල නදීමුඛ”හි තවත් එවැනි ලී පාලමක් ඉදිකර ඇති අතර මෙය කළු ගංමෝය අසළ ඉදිවූවක් බවයි සී. ඩබ්ලිව්. නිකොලස් පවසන්නේ.

මීට අමතරව සාලග්ගාව ගංගාව (සල්ගමු ගඟ) හරහා මීටර් 120 ක් දිග පාලමක්ද ‘සලපාදප සොබිභ’ (සල්රුක් හෙබ) නම් ස්ථානයේ මීටර් 68 ක් දිග පාලමක්ද ඉදිකළ බව මහාවංශයේ සඳහන් වෙනවා.13 වැනි සියවසට අයත් මෙම පාලම පිළිබඳව තොරතුරු වලින් අනතුරුව එවැනි ලී පාලම් පිළිබඳ කරුණු අනාවරණය වන්නේ 18 වැනි සියවසට අයත් වාර්තා හා පුරා විද්‍යාත්මක සාධක අනුසාරයෙනි. 1762 දී මහනුවරට පත්වී පැමිණි පයිබස් නම් තානාපතිවරයාගේ ති‍්‍රකුණාමලයේ සිට මහනුවර දක්වා ගමන විස්තර කෙරෙන වාර්තාවක, පළාපත්වල ප‍්‍රදේශයේ තිබූූ පියස්සක්ද සහිත ලී පාලමක් සහ හුලංගමුවෙහි වූ කැටයම් කළ රූප සහිත පාලමක් ගැන ද සඳහන් වෙනවා.18 වැනි සියවසට අයත් පියසි සහිත පාලම්වල ස්වභාවය මනාව වටහා ගත හැකි, ආරක්‍ෂිතව පවත්නා ලී පාලමක් බදුල්ල දිස්ති‍්‍රක්කයේ බෝගොඩ රජමහා විහාර සමීපයෙන් දැනුදු දකින්නට ලැබෙනවා. ලී කණු දෙකක් මත දිගු අතට යෙදූ ලී බාල්ක තුනක් මතවු ලෑලි තට්ටුවකින් සෑදි මෙම පාලමේ දිග මීටර් 16 ක්. එහි පළල අඩි 6 ක් වන අතර උස අඩි 8 ක් වෙනවා. වහලය දරා සිටින්නේ එක් පැත්තක කණු දහය බැගින් දෙපැත්තේ වූ ලී කණු විස්සක් මතයි. මේ පාලමේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි දෙපස පිහිටි අඩි 2 ක් පමණ උසැති බිරළු කැටයමින් යුත් අත්වැලයි. පාලමේ වහලයට පෙති උළු යොදා ගෙන තිබෙනවා.18 වැනි සියවසේදි ලංකාවේ තිබූ ලී පාලම් පිළිබඳ තොරතුරු රැසක් ලන්දේසි සිතුවම් හා වාර්තා අනුසාරයෙන් ලබාගන්න පුළුවනි. ඒ අනුව විවිධ ක‍්‍රමවලට නිර්මාණය වූ ලී පාලම් අතරින් වඩාත් සුලභවී ඇත්තේ අවශ්‍ය විටෙක ගලවා ඉවත් කළ හැකි සල පාලම් ය. ආරක්ෂාව සම්බන්ධයෙන් ද වැදගත් ක‍්‍රමෝපායක්්වු මෙම පාලම් විශේෂය ඕලන්ද බලකොටු ආශ‍්‍රිතව සුලභව දකින්නට ලැබෙනවා.මාතර බලකොටුව දැක්වෙන ඇම්ස්ටඩෑම් කෞතුකාගාරයෙහි ඇති සිතුවමකට අනුව, එහි වූ පාලම කොටස් තුනකට නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව එහි දෙකෙළවර උස්කොට, සල පාලම් ක‍්‍ර‍්‍රමයට නිර්මාණය කර ඇති අතර මධ්‍ය කොටස හෙවත් ප‍්‍රධාන පාලම ජලයේ පාවෙන පරිදි සකසා තිබෙනවා.

ග‍්‍රාමීය පාලම්සමස්ත පාලම් ඉතිහාසය දෙස විමසිලිමත්වීමේදී පරිසරයට වඩාත් සමීප පාලම් ප‍්‍රභේදය ලෙසින් ග‍්‍රාමීය ප‍්‍රදේශවල ප‍්‍රචලිත “අඩි පාලම්” හඳුන්වන්න පුළුවනි. බොහෝ විට අඩි පාරවලට සම්බන්ධවූ මෙම පාලම් නිර්මාණය කරන්නට ලී දඬු හා වැල් වර්ග උපයෝගි කරගෙන තිබෙනවා.විසුද්ධි මාර්ග සන්නයෙහි ‘දණ්ඩක සේතු’ නමින් හැඳින්වෙන්නේද මෙම ගණයට අයත් පාලම් වර්ගයක්. දිය පාරවල් හරහා යෙදූ දැව කඳකින් සැදි දණ්ඩක සෙතු වූ කල්හි ඒ දණ්ඩයි.මීට අමතරව ගස් කඳන් සිටුවා ඒ හරහා ලී යොදා සැකසූ පාලම් පිළිබඳවද වාර්තා වෙනවා. 18 වැනි සියවසට අයත් හේඩිට්ගේ වාර්තාවන්හි රත්නපුර ප‍්‍රදේශයේ කිරන්ඔය හරහා පොල් කඳන් හා උණ බට උපයෝගී කරගෙන තැනූ පාලම පිළිබඳව විස්තරය ඊට උදාහරණයක්.මේ අතර 18 වැනි සියවසට හා 19 වැනි සියවස මුල් භාගයට අයත් එල්ලෙන පාලම් කීපයක් ගැන තොරතුරු ද වාර්තා වී තිබෙනවා. ඉන් එකක් නම්, ගුරුගොඩ ඔය හරහා මහනුවරට පිවිසෙන මාර්ගයකට අයත් වූ ඉද්දමල්පාන පාලමයි. විශාල ගස්වල අතු අතරින් විහිදී එල්ලෙන ආකාරටයි. මෙය සාදා තිබෙන්නේ.කුරුණෑගල - ති‍්‍රකුණාමලය මාර්ගයේ දැදුරු ඔය හරහා වූ තවත් එල්ලෙන පාලමක් පිළිබඳ තොරතුරු මේජර් ෆෝබස් සඳහන් කර තිබෙනවා. ගඟ දෙ පස වූ ගස් දෙකක් මත වේවැලක් ගැටගසා අත්වැල සඳහා තවත් වේවැලක් ගැටගසා මේ පාලම නිර්මාණය කර තිබෙනවා. පාලමේ තැනින් තැන වැල්වලින් ගස්වල අතුවලට ගැටගසා තිබෙන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife