නිවස ඓතිහාසික ඓතිහාසික රන්ගිරි දඹුලු විහාරය

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
රන්ගිරි දඹුලු විහාරය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

රන්ගිරි දඹුලු විහාරය

මාතලේ - මහනුවර මාර්ගයේ දඹුල්ල - කුරුණෑගල මංසන්ධියට ආසන්නව පිහිටා ඇති මෙම විහාරය අඩි පන්සියයක් පමණ උස් වූ පර්වතයක පිහිටා ඇත.මෙම ලෙන් විහාර හා එහි ඇති බිතු සිතුවම් නිසා මෙම පුද බිම ප‍්‍රසිද්ධ වී ඇත. ලෝක උරුම ස්ථානයක් ලෙසින්ද ප‍්‍රකාශයට පත්කර ඇති දඹුලු විහාර සංකීර්ණය දකුණු හා අග්නි දිග ආසියාවේ ඇති විශාලතම ලෙන් විහාර සංකීර්ණ අතරින් එකක් සේ සැළකේ. එමෙන්ම දකුණු ආසියාවේ මෙතෙක් ආරක්ෂා වී ඇති ලෙන් විහාරය ලෙසින් ද ප‍්‍රකටය. මෙම ලෙන්වල ඇති බිතු සිතුවම් වර්ග මීටර් 2000 (දෙදහසක) පමණ ප‍්‍රදේශයක විහිදී ඇත.දඹුලු ලෙන් විහාරයේ ලෙන් පහක් පිහිටා ඇත. දෙව්රජ විහාරය, රජමහ විහාරය, පශ්චිම විහාරය ඉතා පැරණිය. අලුත් විහාරය කීර්ති ශ‍්‍රී රජමහ විහාරය කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා විසින් කරවන ලද අතර පස්වැනි විහාරය ඊට පසු කාලයේ කරවන ලද්දකි.ප‍්‍රදේශවාසින් අතර පවතින ජනප‍්‍රවාද අනුව මේ විහාර ඇතුළු පැරණි ලෙන් විහාර පළමුව සකස් කරන ලද්දේ වළගම්බා රජතුමා ගේ අනුග‍්‍රහයෙනි. මෙහි ගල් ලෙනක ඇති කටාරමකට යටින් ඇති ශිලා ලිපියක මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ කාලයට ආසන්න වු කාලයකට අයත්ය. බ‍්‍රාහ්මී අක්ෂර වලින් ඒ ශිලා ලිපිය ලියා ඇත. ඒ අනුව මේ ලෙන් විහාර ඉතාමත් පැරණි ඒවා බව පැහැදිලි වේ. මෙම ලෙන් භික්ෂූන් වහන්සේලාට පූජා කළ බව සඳහන් වන ශිලා ලිපි ද මේ අසල ඇති තවත් කුඩා ලෙන්වල දක්නට ලැබේ. මේ ප‍්‍රධාන ලෙන්වලට අමතරව දඹුලු පර්වතයේ බටහිර පැත්තේ ඇති ලෙන් සහ ඊට සම්බන්ධ මාලක පිහිටා ඇත. ඒවායේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් ජීවත් වී සිටි බවට සාක්ෂි ලැබී ඇත.මෙම ලෙන් පහෙහි විවිධ ප‍්‍රමාණයේ පිළිම 157 කි. මේ ලෙන් විහාර සංකීර්ණයේ ඉදිරිපස ඇති දොරටු සහිත බරාඳය 1930 ගණන්වල දී නිර්මාණය කරන ලද්දකි. යුරෝපීයයන්ගේ වාස්තු විද්‍යාත්මක ගොඩනැගිලිවල ආභාසය එහි දක්නට ලැබේ.

දඹුලු විහාරය පිළිබඳව ලියැවී ඇති නිලගම තුඩපත නමැති ලේඛනයෙහි මේ ස්ථානය දියුණු කළ රජවරුන් පස් දෙනෙක් ගැන සඳහන් වේ. ඒ රජවරුන් මෙසේය. වළගම්බා, නිශ්ශංකමල්ල, කීර්ති ශ‍්‍රී රාජසිංහ, රාජාධිරාජසිංහ හා ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යන රජවරුන්ය. ඒ අනුව මේ ලෙන් විහාර පළමුව සකස් කළේ වළගම්බා රජතුමා විසිනි.දඹුලු විහාරයේ වත්මන් වාකල්කඩත් දඹුලු විහාරයත් අතර පිහිටි ශිලා ලේඛනය පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ලිපියකි. ඒ රජතුමා විසින් දඹුල්ල විහාරයට කළ සේවාව එහි සඳහන් වේ. දඹුල්ලේ විහාරවල ඔත්පිළිම (සැතපෙන පිළිම) හිඳි පිළිම හා හිටි පිළිම ඇති විහාරයට හත් ලක්ෂයක් වියදම් කරවා ස්වර්ණගිරි ගුහා යන නාමය තැබූ බව ඒ ලිපියේ සඳහන් වේ. දඹුලු විහාරයේ රජමහ විහාරය වාස්තු විද්‍යාත්මක වශයෙන් මේ විහාරය අගනා නිර්මාණයකි. දොරටු දෙකකින් මේ ලෙන් විහාරයට ඇතුළු විය හැකිය. මෙහි බිතුසිතුවම් නිර්මාණය කර ඇති ප‍්‍රදේශය මීටර් 52 දිග හා මීටර් 23 පළලින් යුක්තය.නිශ්ශංකමල්ල රජතුමා විසින් මෙම ප‍්‍රතිමා වල රන් ආලේප කිරීමත් සමග රන්ගිරි දඹුල්ල යන නාමය ව්‍යවහාර වී ඇත.දඹුලු විහාරයෙහි ඉතා ප‍්‍රකට චිත‍්‍රයක් ලෙස මාර යුද්ධය හැඳින්වේ. මෙහි දක්නට ලැබෙන බිතු සිතුවම් ජාතක කතා බුද්ධ චරිතයේ විවිධ අවස්ථා හා ලංකාවේ මුල් කාලයට අයත් වූ ඉතිහාස කතා ද නිරූපණය කර ඇත. මීට අමතරව විවිධ බුද්ධ රූප හා දේව රූප ද දක්නට ලැබේ. එම රූප අතර මැද අවකාශය පිරවීම පිණිස විවිධ ජ්‍යාමිතික මෝස්තර නිර්මාණය කර ඇත.

දහ අට වැනි සියවසේ මහනුවර යුගයට අයත් වන බිතු සිතුවම් පිළිබඳ වැඩිපුරම ඇති ස්ථානය දඹුලු විහාරයයි. මේ යුගයට අයත් වන චිත‍්‍ර මහනුවර සහ ඒ අවට විවිධ විහාරස්ථානවල දැකිය හැකිය. දෙගල්දොරුව මැදවල ගංගාරාමය, සුරියගොඩ සහ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ රිදී විහාරය කෑගල්ලේ දොඩංතලේ විහාරය ද මේ චිත‍්‍ර ඇති විහාර කීපයකි.අංක 3 දරණ ලෙනෙහි කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා නිරූපණය කරන ප‍්‍රතිමාවක්ද දක්නට ලැබේ. උපුල්, සමන්, නාථ, විෂ්ණු ආදී දේව රූප ද අවලෝකිතේශ්වර බෝධිසත්ව රූප ද රැසක් ම දක්නට ලැබේ.දඹුලු විහාරයෙහි චිත‍්‍ර අඳින ලද්දේ කුමන ද්‍රව්‍ය වලින් ද, වර්ණ සකස් කළේ කෙසේද ආදිය පිළිබඳ විස්තර දඹුලු විහාර සන්නසෙහි සඳහන් වේ. ගොකටු ඉස්ම, මකුල්, දිවුල් ලාටු, නිල් හිරියල්, සාදිලිංගම් ආදිය වර්ණ සඳහා යොදා ගෙන ඇත. බුරුසු සාදා ඇත්තේ බළල් සහ ලේනුන් ගේ ලොම් වලිනි. සිතුවම් අලංකාර කිරීම සඳහා උඩින් ආලේපයක් ගා ඇත. මෙය දොරණ තෙල් මිශ‍්‍ර කළ දුම්මල භාවිතා කර ඇත. දඹුලු විහාරයට යන ඔබට ඒ අසල ඇති බිතු සිතුවම් කෞතුකාගාරයට යාමට අමතක නොකරන්න. ඒ කෞතුකාගාරයේ ලංකාවේ කි‍්‍රස්තු පූර්ව යුගයේ සිට විසිවැනි සියවස තෙක් දක්නට ලැබෙන බිතුසිතුවම් පිළිබද ඇති විස්තර හා එම සිතුවම් ඔබට දකින්නට ලබෙනු ඇත.ලංකාවේ බිතු සිතුවම් එකම ස්ථානයක දක්නට ලැබෙන මෙම බිතු සිතුවම් කෞතුකාගාරය පාලනය වන්නේ සංස්කෘතික අමාත්‍යාංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේය.ගුහා චිත‍්‍ර  ලංකාවේ ඉතාම පැරණි වැදි චිත‍්‍ර ලෙස ද සමහරු සලකති. මෙම පැරණි සිතුවම් ද මෙහි දී දැකගත හැකිය.

සිරිසමන් විජේතුංග

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife