නිවස ඓතිහාසික ඓතිහාසික අනුරාධපුරයේ නගර නිර්මාණය

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
අනුරාධපුරයේ නගර නිර්මාණය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

අනුරාධපුරයේ නගර නිර්මාණය

පණ්ඩුකාභය රාජ්‍ය යුගයේදී දියුණු නගරයක් බවට පත්වූ අනුරාධපුරය ඉන් අනතුරුව රාජ්‍යත්වයට පත් වූ සෑම රජවරයෙකුගේම පාලන මධ්‍යස්ථානය විය. එමෙන්ම එම රජවරු අනුරාධපුර රාජධානියේ ආරක්‍ෂාවත් අලංකාරයත් සඳහා පසු කාලීනව විවිධ අංග එක්කර ඇත. අනුරාධපුර රාජධානියේ නගරය නිර්මාණය කර ඇති ආකාරය දෙස බලන විට එය වෙනත් පෞරාණික නගර මෙන් ජ්‍යාමිතික සැලැස්මක් අනුව නිර්මාණය කර නැති බව පෙනී යයි. අවස්ථා කීපයකදී රජවරුන් රාශියක් විසින් නගරයේ විවිධ ඉදිකිරීම් කටයුතු සිදුකර තිබීම එයට හේතුවයි. අනුරපුර නගරය නිර්මාණය කිරීමේදී එය රාජ්‍ය තාන්ති‍්‍රක මෙන්ම රාජකීයයන්ගේ වාසභවනයන් වලට පමණක් සීමා වූ ස්ථානයක් ලෙස නොව සමස්ත ජාතියේම ආගමික, සංස්කෘතික, සාමාජික සහ පාලනික කේන්ද්‍රස්ථානය වශයෙන් පවත්වාගෙන යන්නට එකල රජවරු උත්සාහ දරා ඇත. ඒ හේතුව නිසාම රාජකීය ගොඩනැගිලි වලට අමතරව ආගමික වශයෙන් වැදගත් වන ආරාම සංකීර්ණ සහ ස්තූප, බෝධිඝර ආදිය ද අනුරාධපුර නගරයට අයත් වේ. පණ්ඩුකාභය රජුගෙන් පසු බලයට පත් මුටසීව රජු මහමෙව්නා උයන නගරයේ අලංකාරය සඳහා ඉදිකර ඇත. ඉන්පසු දෙවනපෑතිස් රජු විසින් තිසාවැව සහ ථූපාරාමය ඉදිකිරීමත්, දුටුගැමුණු රජු විසින් ලෝවාමහාපාය, රුවන්වැලි සෑය, මිරිසවැටිය වැනි ආගමික ස්මාරක ඉදිකිරීමත්, වළගම්බා රජු අභයගිරිය නිර්මාණය කිරීමත්, කූටකණ්ණතිස්ස රජු ප‍්‍රාකාරයක් ඉදිකිරීමත්, වසභ රජු එම ප‍්‍රකාරය 18 රියන් වන සේ විශාල කිරීමත් මහසෙන් රජු ජේතවනාරාමය ඉදිකිරීමත් ආදී වශයෙන් අනුරාධපුරය පාලනය කළ බොහෝ රජවරුන් විසින් නිර්මාණය කළ විවිධ ගොඩනැගිලි, වැව්, උද්‍යාන සහ ප‍්‍රාකාර ආදිය තුළින් අනුරාධපුරය අති විශාල දියුණු නගරයක් බවට පත්විය. වසර 1500 ක් තරම් කාලයක් ලංකාවේ අග නගරය ලෙසින් පැවති මෙය කි‍්‍ර. ව. 1017 චෝල ආක‍්‍රමණයත් සමගින් සම්පූර්ණයෙන් බිඳ වැටිනි. ඉන් පසුව ලංකාවේ අගනුවර වූයේ පොළොන්නරුවයි.

අනුරාධපුර නගරයේ දැනට දක්නට ඇති වාස්තු විද්‍යාත්මක නිර්මාණයන්ට අනුව එම නගර ය ඇතුළු නගර සහ පිටත නගරය වශයෙන් කොටස් දෙකකට බෙදී යන බව දක්නට ලැබේ. මීට අමතරව දක්නට ලැබෙන සුවිශේෂ ලක්‍ෂණයක් වී ඇත්තේ ඇතුළු නුවර ලෙස හඳුන්වන කොටස වටා වැව් රාශියක් සහ උද්‍යාන ද, බෞද්ධ විහාර සංකීර්ණ රැසක් ද දක්නට ලැබීමයි.අනුරාධපුර නගරය ඇතුළු සහ පිටත වශයෙන් වෙන් වන්නට ඇත්තේ කිනම් යුගයක ද යන්න පිළිබඳව ස්ථිරව නිගමනය කළ නොහැකි වුවත් කූටකණ්ණතිස්ස හා වසභ යන රජවරුන් විසින් නිර්මාණය කරන ලද මහා ප‍්‍රකාරය නිසා එලෙසින් වෙන්වී ඇති බව පෙනී යයි. ඇතුළු නුවර හෙවත් අභ්‍යන්තර නගරය තුළ දැනට සාධක හමු වී ඇත්තේ ඉතා මඳ වශයෙනි. ඒ අතුරින් ගෙඩි ගෙය විහාරය, මහාපාලී දානශාලාව, දළදා ගෙය සහ විජයබාහු මාළිගය දැනට හඳුනාගෙන ඇත. ඒ හැරුණු විට ඇතුළු නගරය රජවරුන්ට, ප‍්‍රභූවරුන්ට සහ ආගමික පූජකයන්ට (බුදුදහම ගෙන ඒමට පෙර) උස් පහත් කම් අනුව බෙදී තිබුණ බව පැවසේ. එමෙන්ම පර්සියානුවන් (යවනයන්) වැනි විදේශීය වෙළෙඳුන්ට සහ විදේශීය ප‍්‍රභූවරුන්ට ද වෙන් වූ කොටස් දෙකක් ඇතුළු නුවර පිහිටා තිබිණි.ඇතුළු නුවර වටවන සේ දකුණින් තිසා වැව ද, බටහිරින් බසවක්කුලම ද, වයඹින් බුලන්කුලම වැව ද නැගෙනහිරින් නුවර වැව ද ඉදිකර තිබිණි. නගරවාසීන්ට අවශ්‍ය ජලය ලබා ගැනීමටත් , වියළි කලාපයේ දැඩි සූර්ය තාපය අවම කර ගැනීමට සිසිලස ලබාගැනීමටත්, නගරය වටා සිටි කෘෂිකර්මයේ නියුතු ජනතාවගේ අවශ්‍යතා සපුරාලෑමත් මේ ආකාරයට වැව් ඉදිකිරීමේ අරමුණ විය. බාහිර නගරයේ දක්නට ලැබුණ අනෙක් නාගරික අංග වූයේ උද්‍යානයි. මේවා බොහෝ දුරට නගරයේ දකුණු දිශාවට වන්නට ඉදිකර තිබිණි. මහමෙව්නා උයන, මඟුල් උයන, නන්දන උයන, ජෝති වනය සහ රන්මසු උයන මින් ප‍්‍රධාන තැනක් ගෙන ඇත. නගරයේ සතර දිශාවට විහිදී ගිය ප‍්‍රධාන වීථි සතරක් පැවත ඇති බව චීන ජාතික පාහියන් භික්‍ෂුව සඳහන් කරයි. එම වීථි වලින් නගරයට ඇතුළු වීමට ප‍්‍රධාන දොරටු සතරක් පැවති බවත්, ඉන් එක් වීථියක් උත්සව පවත්වන වීථිය ලෙස නම්කර තිබූ බවත් සඳහන් වේ.අනුරාධපුර රාජධානියේ බාහිර කොටසේ (පිටත නගරයේ) ඇති වාස්තු විද්‍යාත්මක නිර්මාණ අතුරින් ඉතා වැදගත්ම දැනට වැඩියෙන්ම නටබුන් වී ඇති නිර්මාණයන් වන්නේ අභ්‍යන්තර නගරය වට කරමින් පිහිටන ආරාම සංකීර්ණයි. ලාංකීය රජවරුන් මෙන්ම ජනයාත් බුදුදහමට කොතරම් ගරු කළේ ද යන්න මෙම ආරාමවල ඇති ශක්තිමත් භාවයෙන් සහ විශාලත්වයෙන් මනාව පැහැදිලි වේ. අප දැනට ඇතුළු නුවර ලෙස සලකන ප‍්‍රදේශයේ සිට ඒ වටා සැතපුමක් අරය ඇති වෘත්තයක් ලකුණු කළ හොත් ඒ ඇතුළත පමණක් ප‍්‍රධාන විහාර සංකීර්ණ 5 ක් දක්නට ලැබේ. එනම්,1. අභයගිරි විහාර සංකීර්ණය2. ජේතවන විහාර සංකීර්ණය3. ලංකාරාම විහාර සංකීර්ණය4. ථූපාරාම විහාර සංකීර්ණය5. මහා විහාර සංකීර්ණය යන ඒවාය.මේ අතරින් විශාලතම විහාර සංකීර්ණය වන අභයගිරි විහාර සංකීර්ණය අභ්‍යන්තර නගරයට උතුරින් පිහිටා තිබිණි. අඩි 360 ක් උසැති අභයගිරි දාගැබ කේන්ද්‍ර කර ගනිමින් අක්කර 6000 ක භූමි භාගයක් පුරා විසිරී පැවති මෙය කි‍්‍ර. ව. 1 සිට 11 දක්වා තරම් දීර්ඝ කාලයක් මහායානිකයන්ගේ ප‍්‍රධාන කේන්ද්‍රස්ථානය වශයෙන් පැවතිණි.මහායානිකයන්ට අභයගිරිය ප‍්‍රධාන කේන්ද්‍රස්ථානය වූවා සේම, ථෙරවාදීන්ට මහා විහාරය ප‍්‍රධාන විය. ඇතුළු නුවරට දකුණු දිශාවෙන් පිහිටි මෙය ආශි‍්‍රතව ලෝවාමහාපාය රුවන්වැලිසෑය ආදී ස්මාරක දක්නට ලැබේ.අප කලින් සඳහන් කළ වෘත්තයට පිටින් තවත් සැතපුමක රවුමක් ඇන්ද හොත් එහිද විහාර සංකීර්ණ කීපයක් දක්නට ලැබේ. මහා විහාරය සහ තිසාවැව අතර දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද මිරිසවැටිය ස්තූපය සහ අක්කර 50 ක පමණ ආරාම සංකීර්ණය ද, දක්‍ෂිණ ස්තූපය ද, රන්මසු උයන, ඉසුරුමුණි විහාරය හා වෙස්සගිරි විහාර සංකීර්ණය ද දක්නට ලැබේ. ඒ හැරුණු විට බටහිර පෙදෙසෙහි බටහිරාරාම නම් වනවාසී විහාරයක් සහ නැගෙනහිරින් තොලුවිල සහ ප‍්‍රාචීනතිස්ස පබ්බත විහාරය ද, උතුරින් විජයාරාමය, පංකුලිය සහ කිරිබත් වෙහෙර ආදිය දක්නට ලැබේ.මේ ආකාරයට ක‍්‍රමානුකූලව ගොඩනංවනු ලැබූ නගරයක් නොවන බැවින් එයට අයත් සමස්ත භූමි ප‍්‍රමාණය කොතෙක් ද යන්න නිශ්චිතවම ප‍්‍රකාශ කළ නොහැකිය. රාජාවලියට අනුව නම් අනුරාධපුර නගරයේ විශාලත්වය වර්ග සැතපුම් 35 ත් 50 ත් අතර ප‍්‍රමාණයකි.

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife